මහෙස්ත්‍රාත්වරයාගේ රථය කොල්ලකෑ සැකකරු ඇල්ලූ මෙහෙයුම

මහෙස්ත්‍රාත්වරයාගේ රථය කොල්ලකෑ සැකකරු ඇල්ලූ මෙහෙයුම

February 14, 2023   12:03 pm

කුලියාපිටිය මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරුවරයාගේ නිල මෝටර් රථය කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු කප්පම් ඉල්ලා මහේස්ත්‍රාත්වරයාට ලබාගත් දුරකථන ඇමතුම් ඔස්සේ සිදුකළ විමර්ශනවලින් බව පොලීසිය පවසයි.

එහිදී පොලීසිය විසින් මහේස්ත්‍රාත්වරයාගේ සොහොයුරෙකු ලෙස කතා කර ඔහුව වත්තල ප්‍රදේශයට ගෙන්වාගැනීමට සමත්ව තිබේ.

මහේස්ත්‍රාත්වරයා හදිසියේ රෝහල්ගතකර ඇති බවත් ගණුදෙනුවක් සම්බන්ධයෙන් තමන් සමග සාකච්ඡා කරන ලෙසත් එහිදී සැකකරු හා දුරකථනයෙන් සම්බන්ධ වූ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා පවසා ඇත.

ඒ අනුව සූක්ෂම අයුරින් සැකකරු එකඟ කරවාගෙන වත්තලට ගෙන්වා ගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයේම පදිංචිව සිටි 27 හැවිරිදි වියේ පසුවූ අයෙකි.

වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආයතනයක් අසළ වෙළෙඳසැලක නමක් පවසා එහි තිබෙන යතුර රැගෙන යන ලෙස මහෙස්ත්‍රාත්වරයාගේ සහෝදරයකු ලෙස රඟපෑ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අමතා සැකකරු පවසා ඇත.

එම අවස්ථාවේ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සිවිලි ඇඳුමින් පොලිස් නිලධාරීන් ස්ථානගත කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

මේ අතර සැකකරු තාවකාලිකව නවාතැන්ගෙන සිටි හෝමාගම ප්‍රදේශයේ නිවාස සංකීර්ණයේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී විවිධ අපරාධ සඳහා යොදාගැණුනු වායු පිස්තෝල දෙකක්,උල් පිහි 4 ක්, විෂ දියරයක් සහිත බෝතලයක් මෙන්ම මිරිස්කුඩු අඩංගු බෑගයක් පොලිස් භාරයට ගෙන තිබේ.

මහේස්ත්‍රාත්වරයාගේ සුඛෝපභෝගි දෙමහල් නිවස විකුණන බවට ප්‍රසිද්ධ වෙබ් අඩවියක පළකර තිබූ දැන්වීමකට අනුව  ඉකුත් 11 වැනිදා රාත්‍රියේ නිවස බැලීම සඳහා පැමිණි සැකකරු මහේස්ත්‍රාත්වරයාව උඩුමහලේ සිරකර දොර වසා සුඛෝපභෝගි මෝටර් රථයද රැගෙන පලා ගොස් තිබුණි.

ඊට හේතුවී තිබුණේ මහේස්ත්‍රාත්වරයා මෝටර් රථයේ යතුර පහල මහලේ තබා තිබීමය.

කෙසේ වෙතත් අනතුරුව තමා සිරකර සිටි උඩු මහලේ ජනේලයකින් පිටතට පැන ඇති මහේස්ත්‍රාත්වරයා මේ පිළිබඳ පොලීසියට දැනුම් දී තිබුණි.

පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබුණේ සැකකරු නිවස දක්වා පැමිණ ඇත්තේ කුලී ත්‍රී රෝද රථයකින් බවය.