වසන්ත නිදහස් කිරීමට එරෙහිව ප්‍රතිශෝධන අයදුම්පතක්

වසන්ත නිදහස් කිරීමට එරෙහිව ප්‍රතිශෝධන අයදුම්පතක්

February 12, 2023   09:38 pm

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබු චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා, කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනුකර තිබේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් නීතිපතිවරයා අදාළ ප්‍රතිශෝධන පෙත්සම ගොනුකර ඇති බව "අද දෙරණ" අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

අරගල සමයේ ඇතිවූ සිද්ධීන්ට අදාළව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඉකුත් වසරේ අගෝස්තු මස 18 වනදා අත්අඩංගුවට ගැනුණි.

අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිදාන ප්‍රකාරව පළමුව රැඳවුම් භාරයේත් ඉන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතවත් සිටි වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු සිදුවුණි.

කෙසේ වෙතත් දින 167ක කාලයකට පසු ඉකුත් ජනවාරි 31 වනදා වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විධිවිදාන ප්‍රකාරව නගා තිබු චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

එහිදි සිය නියෝගයෙන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේ, සැකකාර වසන්ත මුදලිගේ හෝ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කිසිදු ආකාරයකින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකළ බවට සාක්ෂි අනාවරණය නොවන බවය.

එමෙන්ම වසන්ත මුදලිගේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ අරමුණින් විමර්ශන නිලධාරීන් ඇතැම් සාක්ෂි නිර්මාණය කර ඇතැයි පෙනී යන බවද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් මෙම නියෝගය සම්බන්ධයෙන් ප්‍රතිශෝදන අයැදුම්පතක් යොමුකරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නඩු තීන්දුව ලබාදුන් දිනට පසුදිනම නීතිපතිවරයාට ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබු චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා, කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනුකර තිබේ.

අදාළ ප්‍රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරු ලෙස ද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නම් කර තිබේ. 

එම අභියාචනයෙන් ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වසන්ත මුදලිගේට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් ඔහු මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය නීතියට පටහැනි බවය.

එබැවින් වසන්ත මුදලිගේ මුදාහරිමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා තිබේ.