වඩිවේල් සුරේෂ් ඉල්ලා අස්වෙයි
February 9, 2023 05:18 pm
සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසයි.
අද දෙරණ කළ විමසීමකදී ඒ මන්ත්‍රීවරයා පැවසුවේ අද සිට ක්‍රියාත්මක වන පරිදි තමන් එම තනතුරුවලින් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගය වෙත දැනුම්දුන් බවය.
එම තීරණය සම්බන්ධයෙන් අපවෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා.
"අද දින පස්සර ආසනයේ මඩොල්සිම නගරයේ රැස්වීමක් සඳහා සමගි ජන බලවේගයේ නායකතුමා එනවා කියලා දැනුවත් කරලා තිබුණා. ආසන සංවිධායක විදියට ඒ සඳහා සියලුම කටයුතු සූදානම් කරලා තිබුණා. වතුකරයේ ජනතාව අද වැඩ දවසක් ඒ වැඩත් අත හැරලා ඇවිල්ලා හිටියා. නමුත් සජිත් ප්‍රේමදාස මහත්තයා හදිසි අසනීපයක් නිසා එන්න බැරිවෙනවා කියලා දැනුවත් කළා. ඉතින් අපිත් කලබල වෙලා වතුකරයේ ජනතාවට පැහැදිළි කරලා දුන්නා, වතුකරයේ ජනතාව සජිත් මහත්තයාට සනීප වෙන්න ඕන කියලා පූජාවකුත් තියලා ඔක්කොම ප්‍රාර්ථනා කළා මම ජනතාවගෙන් සමාව ඉල්ලලා ආපහු ඇවිල්ලා බලනකොට ඒ වෙලාවේම සජිත් ප්‍රේමදාස මහත්තයා මම දැක්කා ෆේස්බුක් එකෙන් වැලිමඩ රැස්වීමක් අමතලා කතාකර කර ඉන්නවා. ඉතින් එතකොට ලොකු අපහසුතාවයකට පත්වුණා. කම්පාවට පත්වුණා. හරි වේදනාවක්. මිනිස්සුන්ට මමත් බොරුකාරයෙක් වුනා මිනිසුන්ට එතුමාත් පිළිගන්න බැරි තත්ත්වයකට ආවා. ඉතින් මම හිතුවා මේ පක්ෂයේ සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වෙන්න."