වසන්ත මුදලිගේ ව නිදහස් කිරීමට හේතුවූ කරුණු මෙන්න

වසන්ත මුදලිගේ ව නිදහස් කිරීමට හේතුවූ කරුණු මෙන්න

January 31, 2023   07:06 pm

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

සැකකාර වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහු නිදහස් කරන ලෙස ඔහුගේ නීතිඥවරුන් මීට පෙර අධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.

එම ඉල්ලීම පිළිබඳ සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම තීන්දුව ලබා දුන්නේය.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂි සම්පිණ්ඩනය තුළින් ඔහු ස්ථාන ගණනාවක විරෝධතාවල නිරතවෙමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකර ඇති බවට තොරතුරු සඳහන් වන බවය.

එමෙන්ම සැකකරු විශාල මුදල් පරිහරණයක නිරත වී තිබෙන බවත් එම සාක්ෂි සම්පිණ්ඩනවල සටහන් වන බවද මහෙස්ත්‍රාත්වරයා පැවසුවේය.

වැඩිදුරටත් නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේ, "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අත්තනෝමතික ලෙස භාවිත කළ අවස්ථා අතීතය පිරික්සීමේදී පෙනී යනවා. ඇතැම් අවස්ථාවල පුද්ගලයින් දීර්ඝ කාලයක් රිමාන්ඩ් ගත කිරීමේ චේතනාවෙන් පොලීසිය එම පනත භාවිත කළ අවස්ථා නිරීක්ෂණය කළ හැකියි. මෙම සැකකරුට එරෙහිව මෝටිවේෂන් අප්පච්චි සහ ගැමුණු විජේරත්න යන පුද්ගලයින් දෙදෙනාගේ සාක්ෂි ප්‍රධාන වශයෙන් පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා." 

"මෝටිවේෂන් අප්පච්චි නමැති සාක්ෂිකරු ලබාදී ඇති ප්‍රකාශය තුළින් අරගලය මුලදී සාමකාමී ආකාරයෙන් පැවතුණත් සැකකරු ඇතුළු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය ඊට එක්වීමත් සමගම එය ප්‍රචණ්ඩ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. නමුත් වසන්ත මුදලිගේ නමැති සැකකරු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ බවක් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙය වූ බවක් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම සඳහා උපදෙස් දුන් බවක් මෝටිවේෂන් අප්පච්චි නමැති සාක්ෂිකරුගේ සාක්ෂිවලින් අනාවරණය වන්නේ නැහැ." 

"ඒ වගේම ගැමුණු විජේරත්න නමැති සාක්ෂිකරුගේ සාක්ෂිවලින් සැකකරු විදේශීය ත්‍රස්තවාදී සංවිධාන සමග මුදල් හුවමාරු කරගත් බව සඳහන් කර තිබෙනවා. එහෙත් පොලීසිය මෙම සැකකරු මාස ගණනාවක් රඳවාගෙන විමර්ශනය කළ ද එම විමර්ශනවලින් සැකකරු විදේශීය ත්‍රස්තවාදී සංවිධාන සමග සම්බන්ධකම් පවත්වමින් මූදල් ලබා ගත් බවත් අනාවරණය වී නැහැ. ඒ අනුව මෙම සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ පදනමක් නොමැති හුදු ප්‍රකාශ පමණක් බව පෙනී යනවා" 

ඒ අනුව අදාළ සාක්ෂිකරුවන්ගේ සාක්ෂිවලින් සැකකාර වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් අනාවරණය නොවන බවත් මහෙස්ත්‍රාත්වරයා සිය නියෝගයේ සඳහන් කළේය.

වැඩිදුරටත් සිය නියෝගය ප්‍රකාශයට පත් කළ මහෙස්ත්‍රාත්වරයා,

"සැකකාර වසන්ත මුදලිගේ අධ්‍යාපන අමාත්‍යංශය අසල පැවති විරෝධතාවයක දී පොලිස් නිලධාරියෙකු ඇදගෙන ගොස් පහර දුන් බවට සාක්ෂි සම්පිණ්ඩනය තුළ සාක්ෂියක් ඉදිරිපත් වී තිබෙනවා. සිද්ධියට සම්බන්ධ එම පොලිස් සැරයන්වරයා ත්‍රස්ත මර්දන කාර්යාංශයට ලබාදුන් ප්‍රකාශයේ ඒ බව සඳහන් කළා. එහෙත් එම පොලිස් සැරයන්වරයාම තලංගම පොලීසියට ලබා දුන් සිය මුල් ප්‍රකාශයේ සැකකරු විසින් කළැයි කියන එවැනි පහරදීමක් ගැන සඳහන් කර නැහැ." 

"එම පහරදීම සිදුවුණ අවස්ථාවේදී එම ස්ථානයේ විශාල පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් සිට ඇති බව සාක්ෂිවල සඳහන් වෙනවා. එවැනි පහරදීමක් සිදු වුණා නම් අනෙක් නිලධාරීන්ද එය දැක තිබිය යුතුයි. එහෙත් වෙනත් කිසිදු පොලිස් නිලධාරියෙකු එවැනි පහරදීමක් සිදුවූ බව සඳහන් කර නැහැ." යනුවෙන් සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා එම සාක්ෂිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතයට ලක්කරමින් සැකකරු දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ අරමුණින් පසුව නිර්මාණය කරන ලද සාක්ෂියක් වශයෙන් පෙනී යන්නේ යැයි ද කියා සිටියේය.

වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, සැකකාර වසන්ත මුදලිගේ රාජ්‍ය දේපළවලට පහර දී අලාභහානි සිදුකිරීම, මංමාවත්වලට හානි කිරීම හෝ අනර්ථයක් සිදුකළ බවට සාක්ෂි කිසිවක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඉදිරිපත් කළ සාක්ෂි සම්පින්ඩනය තුළින් අනාවරණය නොවන බවය.

එමෙන්ම සැකකරු ජාතිවාදය හෝ ආගම්වාදය මතුවන ආකාරය ප්‍රකාශ සිදුකළ බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවත් මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේය.

"සැකකරු කොටුව පොලිස් මූලස්ථානය අසල දී සහකාර පොලිස් අධිකාරී රොද්‍රිගු නමැති නිලධාරියාට බැනවදිමින් මරණීය තර්ජන එල්ලකර ඇති බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂි සම්පිණ්ඩන සඳහන් කර තිබෙනවා. එහෙත් එම සහකාර පොලිස් අධිකාරීවරයා කොටුව පොලීසියට ලබා දුන් සිය මුල් ප්‍රකාශයේ එවැනි තර්ජනය කිරීමක් ගැන සඳහන් කර නැහැ." 
"එවැනි තර්ජනයක් කර තිබුණේ නම් එය ඔහුගේ මුල් පොලිස් ප්‍රකාශයේ සඳහන් කර තිබිය යුතුයි." එසේ නොකිරීම තුළින් පෙනී යන්නේ එම සාක්ෂිය ද මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතයට ලක් කරමින් රඳවා ගැනීම සඳහා පසුව නිර්මාණය කරන ලද්දක් යැයි මහෙස්ත්‍රාත්වරයා සිය නියෝගයේ සඳහන් කර සිටියේය.

එම සියලු කරුණු පිරික්සීමේදී සැකකරු එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2 සහ 3 යන වගන්ති යටතේ වරදක් සිදුකිරීමට අනුශාසනා කිරීම, කුමන්ත්‍රණය කිරීම හෝ ආධාර අනුබලදීම සිදුකළ බවට කිසිදු සාක්ෂියක් අනාවරණය නොවන බව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

ඒ අනුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තමන්ට නීතිමය හැකියාවක් නොමැති බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා‍ ඒ අනුව සැකකාර වසන්ත මුදලිගේ නිදහස් කරන බවත් අවසානයේ දී සිය නියෝගය තුළින් සඳහන් කර සිටියේය.