කල්මුණේ තහනම් නියෝගය දීර්ඝ කෙරේ
January 19, 2023 03:59 pm
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා කල්මුණේ මහනගර සභාව වෙනුවෙන් නාමයෝජනා භාර ගැනීම වළක්වාලමින් නිකුත් කරන ලද තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීන්දු කළේය.
සයිදමරුදු ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙන්ම රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙකු වූ ඒ. එල්. එම්. සලීම් සහ පළාත් පාලන නියෝජිතයෙකු වන ඒ. ආර්. එම් අසීම් යන අය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
පෙත්සම මාර්තු මස 24 වනදා යළි කැඳවීමට ද නියම කර ඇත.