පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ ආචාර්යයවරු අද සිට යළිත් සේවයේ

පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ ආචාර්යයවරු අද සිට යළිත් සේවයේ

December 19, 2022   07:55 am

‍පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන් සේවයෙන් ඉවත් වීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අදින් (19) අවසන් වේ.

ඒ අනුව අද සිට සාමාන්‍ය පරිදි ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු සිදුකෙරෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කළේය.

එම විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට විරෝධය පළ කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන් පසුගිය දා අධ්‍යයන කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.

ඒ අනුව පසුගිය 13 වනදා සිට අද දිනය දක්වා විභාග රාජකාරී ඇතුළු සියලුම රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් අද පෙරවරුවේ සිට යළි අධ්‍යයන කටයුතු සඳහා සහභාගී වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කළේය.

මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විශ්වවිද්‍යාල සිසුන් 12 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ.