තවත් රට රැකියා ජාවාරමක්
November 20, 2022 04:23 pm
රුමේනියාවේ රැකියා අවස්ථා ලබාදෙන බවට පවසමින් නීතිවිරෝධී දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
බදුල්ලේ පෞද්ගලික හෝටලක පවත්වාගෙන ගිය අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන අද (20) උදෑසන වටලා අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර විදෙස් ජාතිකයෙකු ද වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කළේය.
රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් සමාජ මාධ්‍ය මඟින් දැන්වීම් පළ කර අදාළ ජාවාරම සිදුකර තිබේ.
ඒ අනුව අද (20) උදෑසන අදාළ පෞද්ගලික හෝටලයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා තිබේ.
එහිදී එම වැඩසටහනට සහභාගී වන පුද්ගලයින් රු 5,000ක් රැගෙන එයට සහභාගි වෙන ලෙසට දැනුම් දී ඇත.
රැකියාව ලබාදීමට රුපියල් ලක්ෂ 15ක මුදලක් අවශ්‍ය බවත් පළමුව රුපියල් ලක්ෂ 5ක මුදලක් ගෙවිය යුතු බවටත් අදාළ දැනුවත් කිරීම සිදුකර තිබුණි.
ඉතිරි මුදල වාරික දෙකකින් ගෙවීමට හැකි බවට රැකියා අපේක්ෂි පුද්ගලයින්ට දැනුම් දී ඇත.
අද දිනයේ පැවති වැඩසටහනට පුද්ගලයින් 25 දෙනෙකු පමණ සහභාගී වී ඇති අතර, එහිදී විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් පොලීසිය සමග අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ නිලධාරීන් ද සමග "අද දෙරණ උකුස්සා" එම හෝටලය වෙත අද (20) පිටත්වන්නේ එම නීතිවිරෝධී ක්‍රියාව රට හමුවේ අනාවරණ කිරීමටය.
අප එහි යන විටත් ඔවුන් වැඩසටහනට පැමිණ සිටි තරුණ පිරිසක් දැනුවත් කරමින් සිටියේය.
විමර්ශන නිලධාරීන් සංවිධායකයන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කිසිදු අනුදැනුමකින් තොරව එම වැඩසටහන පවත්වන බවය.
එහි සංවිධායකයින් සිව්දෙනකු ඒ අනුව එහිදී අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් සමග 58 හැවිරිදි විදේශිකයෙකු ද සිටීම විශේෂත්වයකි.
එම විදේශීකයා සතුව ගමන් බලපත්‍රයක් පවා නොමැති බව විමසීම්වලදී අනාවරණ වුණි.
සමාජ මාධ්‍ය ඔස්සේ පළකළ දැන්වීම් හරහා මොවුන් මීට තරුණයින් ගෙන්වාගෙන ඇති බවත් රට රැකියා බලාපොරොත්තුවන එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක් අයකරගැනීමට ජාවාරම්කරුවන් සූදානම්ව සිටි බව වාර්තා විය.
අත්අඩංගුවට ගත් සිව්දෙනා වැඩිදුර විමර්ශන සඳහා බදුල්ල පොලීසිය වෙත භාරදෙනු ලැබීය.
මෙවැනි වංචනික ක්‍රියා, ඉදිරියේදීත් රට හමුවේ හෙළිකරන්නට "අද දෙරණ උකුස්සා" සූදානම්.
