රුසියා-යුක්‍රේන යුද බිමට සටන් විරාමයක්
March 9, 2022 08:20 pm
රුසියාව යුක්‍රේන ආක්‍රමණය ආරම්භ කර අදට සති දෙකක් ගතවී ඇත.
යුද්ධය දරුණු ලෙස ඇවිලී ගිය දින 13කට පසු අද පැය 12ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට දෙරට එකඟතාවකට පැමිණ තිබේ.
ගැටුම් පවතින කලාපවල වෙසෙන සිවිල් වැසියන් ආරක්ෂිතව ඉන් ඉවත්කරගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව ද්වන්ධ සටන් ඇවිලී ගිය කියුව්,කාර්කිව්,මරියුපෝල් වැනි නගරවල අද ගැටුම් ඇතිවූයේ නැත.
යුද ගැටුම් හේතුවෙන් යුක්‍රේන වැසියන් තවමත් රටින් පලා යමින් සිටී.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉදිරි මාස තුන තුළ දරුවන් බිහිකිරීමට නියමිත යුක්‍රේන ගැබිනි මව්වරුන් 80,000ක් පමණ අත්‍යවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සඳහා ප්‍රවේශයක් නොමැතිව අසරණවී සිටින බවය.
මේ අතර යුක්‍රේන ජනාධිපතිවරයා ඊයේ එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය ඇමතීය.
එහිදී ඔහු, බ්‍රිතාන්‍ය හිටපු අගමැති වින්ස්ටන් චර්චිල් හා විලියම් ෂේක්ෂ්පියර් උපුටාදක්වමින් අවධාරණය කළේ යුක්‍රේනය නොබියව රුසියාව හමුවේ සටන් වදින බවය.
"අපි කිසිදා අත්හරින්නේ නැහැ. අපි පරාද වෙන්නේ නැහැ. අපි අවසානය දක්වා සටන් වදිනවා. මුහුදෙදි සහ අහසෙදිත්. අපි සටන් කරනවා, වනාන්තරයේදි, සටන්බිමේදි, වෙරළෙදි සහ මහ පාරෙදි."
රුසියාවට එරෙහි සම්බාධක ප්‍රමාණවත් නොවන බවට යුක්‍රේන ජනාධිපතිවරයා චෝදනා කරන පසුබිමක රුසියාවෙන් බොරතෙල්, ගෑස් සහ ගල් අඟුරු ආනයනය තහනම් කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊයේ තීරණය කළේය.
රට තුළ දරුණු යුද ගැටුම් පවතිද්දී ඔඩෙසා නගරයේදී යුක්‍රේන හමුදා තුර්ය වාදක කණ්ඩායමක් ඉදිරිපත් කළ මේ සංදර්ශනය විදෙස් මාධ්‍යවල දැඩි අවධානයට ලක්විය.
