
2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගයේදී තමන්ට ඇති වූ සිද්ධියට සමාවදිය හැකිවුවත් එය අමතක කළ නොහැකි බව 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ දිනාගත් පුෂ්පිකා ද සිල්වා මහත්මිය පැවසුවාය.
"උදේ 10 සිට පැය 4ක් තිස්සේ අපි බැලුවා මේක සමථයකට පත්කර ගන්න. මම ඔවුන්ගෙන් ඉල්ලුවේ මාව අපකීර්තියට ලක් කළාට මාධ්‍ය සාකච්ඡාවකින් හරි සමාව ඉල්ලන්න කියලා. මගේ නම සඳහන් කරලා. ඒක ඒගොල්ලන්ට බැහැ කියලා කිව්වා. මට සමාව දෙන්න පුළුවන්. නමුත් අමතක කරන්න බෑ. අකමැතිවීම නිසා අපි තීරණය කළා නීතිමය කටයුතුවලට යන්න," යනුවෙන් 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය පැවසුවාය.
2020 විවාහක රූ රැජින තරගාවලියේ අවසන් තරගයේ වූ සිද්ධියට අදාළව ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර අද (08) කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව, සැකකාරියන් අද පස්වරුවේ පොලිස් ඇප මත මුදාහැරි අතර ඔවුන් එළඹෙන 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය.
2021 ලෝක විවාහක රූ රැජින තරගාවලියට සහභාගී වන මෙරට රූමතිය තේරීම සඳහා නෙළුම් පොකුණ රඟහලේ පැවති අවසන් තරගයේදී ජයග්‍රාහී කිරුළ හිමිවූයේ පුෂ්පිකා ද සිල්වාටය.
නමුත් ඇයට කිරුළ පැළඳ වූ කැරොලයින් ජූරි, වේදිකාවේ සිටි චූලා පද්මේනද්‍ර සමඟ එක්ව "දික්කසාද කාන්තාවකට එම කිරුළ දැරිය නොහැකි බව" පවසමින් වේදිකාව මතදීම ඇයගෙන් කිරුළ ගලවා දෙවන ස්ථානය ගත් තරගකාරියට පළඳවනු ලැබීය.
පසුව සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පුෂ්පිකා ද සිල්වා පවසා තිබුණේ තමා දික්කසාද අයකු නොවන බවය.
මෙය තරග සංවිධායක මණ්ඩලයේ තීරණයක් අනුව සිදු නොවූවක් බව සඳහන් කළ එහි සංවිධායකවරයා පසුව නැවතත් කිරුළ පුෂ්පිකා වෙත ලබාදීමට පියවර ගත්තේය.
කෙසේ වෙතත් පුෂ්පිකා මෙම සිද්ධියට අදාළව කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක්කර තිබුණි.



















































