හැඩය වෙනස් වුණ අලුත් කාසි මහින්ද අතට

හැඩය වෙනස් වුණ අලුත් කාසි මහින්ද අතට

November 27, 2018   06:02 pm

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් රුපියල,රුපියල් 2ක,රුපියල් 5  හා රුපියල් 10 සඳහා නව කාසි මාලාවක් අද(27) දිනයේ දී නිකුත් කර තිබේ.

කාසි ටංකන පිරිවැය අඩු කිරීම, කල් පැවැත්ම, පහසුවෙන් රැගෙන යා හැකි බව හා දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට කාසි වර්ග වෙන් කර හඳුනා ගැනීම පහසු කරවීම යන පරමාර්ථ ඇතිව මෙම නව කාසි හඳුන්වා දුන් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මෙහි පළමු කාසි ඇසුරුම අද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබී ය. 

නව කාසි කාණ්ඩයේ කාසි 2018.12.03 දින සිට බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කරනු ලබන අතර අනෙකුත් ව්‍යවහාර මුදල් නෝට්ටු හා කාසි සමඟ ගෙවීම් සඳහා භාවිත කළ හැකි වෙයි.

මෙම කාසි මාලාව අද දිනයේ දී පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අගමැති කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය, මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා තිබේ.

මේ අතර, ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් පුරා වසර 75ක් මුළුල්ලේ රට වෙනුවෙන් කරන ලද සේවාව ඇගැයීම හා එහි 75 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. 10 ක මුහුණත වටිනාකමක් සහිත සංසරණය සඳහා භාවිත කරනු ලබන සමරු කාසියක් නිකුත් කර ඇත.

මෙහි පළමු කාසිය අද දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා විසින් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබී ය. 

මෙම කාසිය බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ඉදිරියේ දී සංසරණයට නිකුත් කරනු ලබන අතර අනෙකුත් ව්‍යවහාර මුදල් නෝට්ටු හා කාසි සමඟ ගෙවීම් සඳහා භාවිත කළ හැකි වෙයි.