ළමා හිංසනයට එරේහිව ජනපතිට සන්දේශයක්
September 30, 2018 08:07 pm
පාසල් පද්ධතිය තුළ ළමයින්ට සිදුවන ශාරිරික දඬුවම් 2020 වන විට සම්පූර්ණයෙන් තුරන් කිරීම පිළිබඳ අවධාරණය කරමින් සංවිධානය කෙරුණු ''සැබෑ වෙනසකට'' පා ගමන අද (30) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රය අසලින් ආරම්භ වූ අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් විය.
දරුවන්ට සහ ඔවුන්ගේ අනාගතයට සිදුවන ඝෘණාත්මක බලපෑම් පදනම් කරගෙන ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 131 ක් ළමා හිංසනයට විරුද්ධව ක්‍රියාමාර්ග ගෙන ඇති අතර මෙම සියලූ සාධක සැලකිල්ලට ගෙන සිවිල් සංවිධානයක් වන ළමා හිංසනයට තිත සංවිධානය විසින් මෙම පා ගමන සංවිධානය කර තිබිණි.
දරුවන්ට සිදුකරන දරුණු සහ හිංසාකාරි දඬුවම් ඔවුන් තුළ මානසික හා කායික පීඩන ඇති වීමට මඟ පාදන අතර එම පීඩනයන් ඔවුන්ගේ යොවුන් වියට ද අධික ලෙස බලපෑම් ඇති කරන බවත් මීට හොඳම උදාහරණ පර්යේෂණ කෙරෙන් සනාථ වී ඇති අතර, ඒ හරහා කලහකාරි හා අනර්ථකාරී හැසිරීම් විශ්ව විද්‍යාල තුළ සිදුවන නවකවදය ආශ්‍රීතව ක්‍රියාකාරකම්වලට පෙළඹීම ප්‍රමුඛ වන බවත් සඳහන් කෙරේ.
ශ්‍රී ලංකාවේ ශාරිරික දඬුවම් අවසන් කිරීම සඳහා වූ පංච මහා යෝජනාව සහ අත්සන් 3000 කින් සමන්විත සන්දේශයක් ද ළමා හිංසනයට තිත සංවිධානයේ ඔටාරා ගුණවර්ධන මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත භාර දෙන ලදී.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ළමා හිංසනයට තිත සංවිධානයේ සභාපති වෛද්‍ය තුෂ් වික්‍රමනායක, වෛද්‍ය තාරා ද මෙල් යන මහත්ම මහත්මීන් සහ විද්වතුන්, වෘත්තීයවේදින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.