ගුවන්තොටුපළ රේගුවෙන් විශේෂ දැනුම්දීමක්
September 24, 2018 03:22 pm
ශ්‍රී ලංකාවට විදේශ රටවලින් ශාක වර්ග, සතුන්, මස්, මාංශ මෙන්ම පළතුරු ගෙන ඒමේදී , ඒවා මිලදී ගත් රට වලින් ඒවා පිළිබඳව නීරෝධායන සහතිකය ද අත්‍යාවශ්‍ය බවත්, එසේ නොමැති වුවහොත් එම ද්‍රව්‍ය කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන ශාක සහ සත්ව නීරෝධායතන නිලධාරීන්ට යොමු කර විනාශ කිරීමට සිදු වන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.
මෑතක සිට සමාජ ජාලා වෙබ් අඩවි ඇතුළු සමාජයේ විවිධ ක්ෂෙත්‍රවල කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට ගෙන එනු ලබන පළතුරු, ශාක සහ සතුන් පිළිබඳව වැඩි කථා බහක් ඇති වී තිබීම පිළිබඳව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කරන ලද විමසීමකදී එතුමා සඳහන් කළේය.
1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනත , ශ්‍රී ලංකාවේ වන ජීවී සහ වෘක්ෂලතා ආඥාපනත , සහ ශ්‍රී ලංකාවට ඇතුළු වීමේදී රේගුව හමුවේ තමන් රැගෙන එන දෑ ප්‍රකාශ කිරීම පිළිබඳව ප්‍රකාශයේදී , ඒවා නිසි පරිදි අනාවරණය නොකිරීම පිළිබඳව රේගු අඥා පනතේ විධිවිධාන සහ අනෙකුත් රජයට සම්බන්ධ රාජ්‍ය ආයතන මත ඇති විවිධ අණ පනත් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ බලය පැවරී ඇත්තේ ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට බවත් , එම බලතල මත කටුනායක ගුවන් තොටුපොළේ දී මෙසේ නීරෝධායන සහතික නොමැතිව රැගෙන එන ඉහත සදහන් සියලුම ද්‍රව්‍යයන් අත් අඩංගුවට ගෙන , කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධිත නීරෝධායන නිලධාරීන් වෙත යොමු කරන බවත් , ඔවුන් ඒවා ප්ලාස්ටික් ඇසුරුම් වෙත එකතු කර පසුව ඒවා විනාශ කර දමන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙසේ රැගෙන එන විශේෂයෙන් පළතුරු , එම රටවල නගර වීදි වල තබා ඇති වෙළඳ සැල් වලින් මිලදී ගත් ඒවා වන බැවින් , ඒවා ආහාරයට ගැනීමෙන් ශ්‍රී ලාංකිකයන්ට නොයෙකුත් ලෙඩ රෝග වැළදෙන අතර , එම පළතුරු මෙරටට රැගෙන ඒම මඟින් ශ්‍රී ලාංකික වගාවන්ට , එම රටවල පරපෝෂිතයන් සහ දිළීර වර්ග පැතිර යාමෙන් ඇති වන වගා විනාශයන් වැලැක්වීම මෙම ක්‍රියාමාර්ගයේ අරමුණ බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මේ ආකාරයට විදේශීය පළතුරු නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒම නිසා , දේශීය පළතුරු වගාවන් අභාවයට ගොස් ඇති බවද එතුමා පැවසීය.
බටහිර රටවල් මෙන්ම ඕස්ට්‍රේලියාව , නවසීලන්තය වැනි රටවල් ද මෙම නීති අකුරටම ක්‍රියාත්මක කරන බවත් , වැරදීමකින් අප රැගෙන යන පාවහන් යුඟලක අප රටේ මඩ පොදක් රැදී තිබුණහොත් එයට ද එරට රේගු නිලධාරීන් තදින් නීතිය ක්‍රියාත්මක කර දඩ මුදල් පවා නියම කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා රේගුව ඉහත පනත් ඟින් පැවරී ඇති බලතල උපයෝගී කරගෙන, ශ්‍රී ලාංකික ජනතාව විදේශීය විශබීජ, ලෙඩ රෝග සහ ශ්‍රී ලාංකික වගාවන් විදේශීය දිළීර , පරපෝෂිතයන්ගෙන් බේරා ගැනීමට සහ ආරක්ෂා කිරීමට පියවර ගනිමින් සිටින බවද රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා වැඩිදුරටත් පැවසීය.