බඹර ප්‍රහාරයට ලක්වූ පදවිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්

බඹර ප්‍රහාරයට ලක්වූ පදවිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්

August 5, 2018   07:45 am

 

මෙවර පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට ආශිර්වාද ලබාගැනීම සඳහා බෝධිපූජාවක් පැවැත්වීම අතරතුර බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දරුවන් සහ දෙමාපියන් 136 කට ආසන්න පිරිසක් ඊයේ (04) සවස පදවිය රෝහලට ඇතුළත් කොට ඇති බව පදවිය පොලීසිය පවසයි.

පොලිසිය පැවසූවේ බඹර ප්‍රහාර එල්ල වී ඇත්තේ පදවිය ඒ යාය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ඊයේ (04) පස්වරුවේ බෝධිපූජාවක් පැවැති අතරතුර බවයි.

පාසල් දරුවන් 84 දෙනෙකු හා වැඩිහිටියන් 52 ක් බඹර ප්‍රහාරයට ලක් ඇති බවද පොලිසිය සඳහන් කරයි. 

පහ වසර ශිෂ්‍යත්වය විභාගය වෙනුවෙන් අද(05)  පෙනීසිටීමට නියමිතව සිටි පදවිය මහසෙන් මහ විදුහලේ සිසු දරුදැරියන් මෙලෙස බඹර ප්‍රහාරයකට ලක්ව තිබිණ.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් පිරිසකට අද (05) පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නොහැකි තත්වයක් ඇතිවිය හැකි බවද වාර්තා වේ.

පොලීසිය පැවසූවේ බඹර ප්‍රහාරයට ලක්වු දරුවන් මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති අතර, විභාගයට පෙනී සිටිම සම්බන්ධයෙන් දෙමාපියන් තීරණය කළ යුතුව පවතින බවයි.