ඒ.බී ඩිවිලියස් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

ඒ.බී ඩිවිලියස් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

May 23, 2018   05:26 pm

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වන ඒ.බී. ඩිවිලියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන තිබේ.

අන්තර්ජාලය ඔස්සේ අද දිනයේ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් 34 හැවිරිදි ඩිවිලියස් සඳහන් කර ඇත්තේ තමන් වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලින් සමුගන්නා බවයි.

ටෙස්ට් තරග 114කට, එක්දින තරඟ 228කට සහ 20/20 තරඟ 78කට සහභාගී වූ තමන් මේ වන විට දැඩි වෙහෙසකාරී තත්ත්වයට පත්ව සිටින අතර වෙනත් ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙලෙස ඉවත්වීමට තීරණය කළ බව ඔහු ප්‍රකාශ කර තිබේ.

ලොව ප්‍රහාරාත්මක පිතිකරු ලැයිස්තුවේ ඉදිරියෙනුම සිටින ක්‍රීඩකයෙකු වන දකුණු අප්‍රිකානු පිලේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නාකය ඒ.බී. ඩිවිලියර්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද (23) දින ප්‍රකාශ කර සිටියේය. 

මෙවර IPL තරඟමාලාවේ දී රෝයල් චැලෙන්චර්ස් බැංගලෝර් පිලට ක්‍රීඩා කළ ඔහු තරඟ 12 කදී ලකුණු 480 ක් රැස් කළේ අර්ධ ශතක 6 ක්ද සමඟින් ලකුණු 174.54 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමිනි.

එක්දින ක්‍රිකට් තරඟ ඉතිහාසයේ වේගවත්ම ශතකය ඒ.බී. ඩිවිලියර්ස් ගේ නම ඉදිරියෙන් ලියැවී තිබෙන අතර බටහිර ඉන්දීය කොදෙව් පිළට එරෙහිව පන්දු 31 දී 2015 වසරේ දී ඔහු එම ශතකය ලබා ගත්තේය.

එසේම එම තරඟයේ දී පන්දු 16 කදී ලකුණු 50 ක් රැස් කරමින් ලොව වේගවත්ම එක්දින අර්ධ ශතකයේ වාර්තාව ද ඔහු සතු කරගත්තේය.

ක්‍රිකට් විචාරකයින් විසින් මිස්ටර් 360 ලෙසින් හඳුන්වන පිතිකරුවා, පිටියේ සෑම කොනකට පහර එල්ල කිරීමේ රුසියෙකි. මේ අතර ජොන්ටි රෝඩ්ස්ගෙන් පසු ලොව බිහි වූ විශිෂ්ටතම පන්දු රකින්නෙකු ලෙසින් ද ඩිවිලියර්ස් සැලකේ.

මෙම තීරණය ගැනීම ඉතා දුෂ්කර වූ බවත් තමාට සහයෝගය දැක්වූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයට සහ ක්‍රීඩකයින්ට සිය ස්තූතිය පළ කරන බවත් ඒ.බී.ඩිවිලියස් වැඩිදුරටත් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.