උතුරු පළාත් සභාවේ සිටින මුස්ලිම් මන්ත්‍රීවරයාට එරෙහිව උද්ඝෝෂණයක්
May 7, 2018 12:20 pm
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් උතුරු පළාත් සභාවේ සිටින මුස්ලිම් මන්ත්‍රීවරයාට එරෙහිව යාපනයේ මුස්ලිම් වැසියෝ යාපනය ප්‍රධාන මුස්ලිම් පල්ලිය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වූහ.
මෙම මුස්ලිම් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් සභාවට පත් වී ඇත්තේ දෙමළ ජාතික සන්ධානය හා මන්නාරමේ ක්‍රියාත්මක සුළු මුස්ලිම් දේශපාලන පක්ෂයක් අතර අත්සන් කොට ඇති ගිවිසුමකට අනුවය.
එම්.අස්මින් නැමති මෙම පළාත් සභා මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානය සමග එකතුවී සිංහල ජනතාවට එරෙහිව ක්‍රියා කිරීමට පටන් ගෙන ඇති අතර ඒ තත්ත්වය මත මුස්ලිම් ජනයාට විශාල ගැටළුවකට මුහුණ දීමට සිදුව ඇති බව යාපනයේ මුස්ලිම් ජනතාව කියා සිටිති.
එමෙන්ම උතුරේ මුස්ලිම් ජනයාට අවාසිදායක වන අන්දමේ යෝජනා රැසකටම මෙම මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයට සහය ලබා දෙන බවද පවසන යාපනයේ මුස්ලිම් ජනතාව මේ අන්දමට තවත් කාලයක් මේ මන්ත්‍රීවරයා කටයුතු කළහොත් මුස්ලිම් ජනතාවට යාපනයේ සිටීමට නොහැකිවන බවද කියමින් මේ විරෝධතාවය දියත් කොට තිබුණි.
උතුරු පළාත් සභාව තුල මුස්ලිම් ජාතිකයින් හතර දෙනෙකු මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කරණ බවත්,ඉන් රිෂාර්ඩ් අමාත්‍යවරයාගේ පක්ෂයෙන් තේරී සිටින මන්ත්‍රීවරු දෙදෙනා හැරුණු විට අනෙක් මුස්ලිම් මන්ත්‍රීවරු දෙදෙනාම දෙමළ ජාතික සන්ධානයේ අවශ්‍යතා අනුව කටයුතු කරණ බවද යාපනයේ මුස්ලිම් වැසියෝ කියා සිටිති.