කරුමෙට සිදුවෙන ව්‍යවස්ථා ජයග්‍රහණය ගැන ශ්‍රියන්ත කියයි

කරුමෙට සිදුවෙන ව්‍යවස්ථා ජයග්‍රහණය ගැන ශ්‍රියන්ත කියයි

November 2, 2017   03:06 pm

තුනෙන් දෙකක ඡන්දයකින් හෝ ජනමත විචාරණයකින් හෝ ව්‍යවස්ථාව මඟින් බලය බෙදා දීමක් සිදු කළහොත් නැවත කිසිදිනක බලය මධ්‍යම ආණ්ඩුවට ලබා ගත නොහැකි බව ප්‍රවීන රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා පවසයි.

අද(02) දහවල් පැවති එළිය සංවාද කවයට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

රටේ පාලකයන් රට අඳුරු කලාපයකට ගෙන යෑමට උත්සහ ගන්නා මෙවන් මොහොතක රටට ආදරය කරන ජනතාවක් ලෙස මෙම යෝජිත ව්‍යවස්ථාව කෙතරම් දුරට රට තුළ ඛේදනීය තත්ත්වයක් ඇති කරනවාද යන්න පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු යැයි ද ඔහු එහිදී කියා සිටියේය.

කෙසේ හෝ අවසානයේ දී ව්‍යවස්ථාව ජයග්‍රහණය කළහොත් එය කරුමෙට සිදුවන ක්‍රියාවක් බව ද ඔහු පැවසීය.

දුර්වල මධ්‍යම ආණ්ඩුවක් සහිත, බලතල සහිත පළාත් සභා පෙළකින් යුක්ත රජයක් බිහි වීම අතිශ්‍ය භයානක බවත්, සාමාන්‍ය ජනතාවට මේ පිළිබඳ නොදැනෙන ලෙස රජය මෙය ක්‍රියාවට නංවමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ හෝ නැවත වරක් වසර 30 ක් පුරා පැවති යුද්ධයේ අමිහිරි මතකයන් මෙරට ජනතාවට විඳීමට සිදුවේයැයි තමාට බියක් ඇති බව ද ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා මෙහිදී කියා සිටියේය.

රටේ අයිතිය ඇත්තේ පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාට නොවන බවත් එහි අයිතිය ජනතාව සතු බවත් පැවසූ මෙන්ඩිස් මහතා, භික්ෂූන් වහන්සේලාගේ පවා උපදෙස් රජය නොසලකා හැරීම ඉතා භයානක බව ද කියා සිටියේය.