නිදහස් දිනයට සමගාමීව රැඳවියන් 60ගේ දඬුවම ලිහිල්වෙයි

නිදහස් දිනයට සමගාමීව රැඳවියන් 60ගේ දඬුවම ලිහිල්වෙයි

February 1, 2017   04:16 pm



69 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් මරණ දඬුවම නියමව සිටින රැඳවියන් 60 දෙනෙකුගේ දඬුවම් කාලය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස ලිහිල් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය හිමිව තිබේ.

මරණීය දණ්ඩනය නියමවී සිටින රැඳවියන් 60 දෙනෙකුගේ දඬුවම් ලිහිල් කිරීම සුදුසු ද යන්න පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබු බව සඳහන්ය.

 ඒ අනුව එම පිරිසගේ සිරදඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙසට ලිහිල් කිරීම සුදුසු බවට අදාළ කමිටුව විසින් අමාත්‍යවරයාට නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

 එම නිර්දේශ සැලකිල්ලට ගනිමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මේ පිළිබද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතියට ඉදිරිප‍ත් කළ බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මරණ දඬුවම නියම වු රැදවියන් 60 දෙනාගේ දඬුවම් කාලය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස ලිහිල් කර ඇති බව සඳහන්ය.

ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති මෙම දඬුවම් ලිහිල් කිරීම පෙබරවාරි මස 4 වන දිනට යෙදී ඇති 69 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ක්‍රියාත්මක කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට මේ වන විට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.