විගමනික ශ‍්‍රමිකයින්ට වැඩි සැලකුම්
January 24, 2017 04:24 pm
විදේශ රැකියා ක්‍ෂේත්‍රයට සම්බන්ධ රටවල් 18ක් සාමාජිකත්වය දරන අඩුබාඩි සංවාඳයේ සිවුවැනි අමාත්‍ය උපදේශක රැස්වීම එම සංවාඳයේ සභාපතිනී අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (24) කොළඹදී ආරම්භ විය.
විගමනික සේවකයන්ගේ ආරක්‍ෂාව ප‍්‍රවර්ධනය කිරීම සඳහා විදේශ රැකියා ක්ෂේත්‍රයෙහි ශ‍්‍රී ලංකාවේ කැපවීම හඳුනා ගනිමින් එහිදී වසර දෙකක කාලසීමාවක් සඳහා අබුඩාබි සංවාඳයේ සභාපතිධූරය ශ‍්‍රී ලංකාවට පිරිනැමීම ද මෙහිදී සිදු කෙරුණි.
අද උදෑසන කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ආරම්භ වූ එම අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද සහභාගී වුණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම සමුළුව අමතමින් හෙතෙම පවසා සිටියේ, මෙරට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගය වී ඇත්තේ විදේශ රැකියා ක්‍ෂේත්‍රය බවයි.
ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන් මුදල් උපයාගෙන නැවත මව් රටට පැමිණීමෙන් පසු ඔවුන් එම මුදල් පරිහරණය කරන ආකාරය පිළිබඳවත්, විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල්වලට සුභසාධනය සැලසීමටත් වත්මන් රජය ක්‍රියාමාර්ග රැගෙන ඇති බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
එහිදී අග‍්‍රාමාත්‍ය මෙසේද අදහස් දැක්වීය,
" විදේශ රැකියා හරහා එන ආදායම අපේ රටේ ප‍්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත් වෙලා. විගමනික ශ‍්‍රමිකයන් ලියාපදිංචියේ දී ඔවුන් තෝරා ගැනීමේ ක‍්‍රමවේදය පිළිබඳව අපට සොයා බලන්න තියෙනවා. ඒ වගේම රැකියා සොයා ගැනීම හා අවසානයේ නැවත නිවාස බලා ඔවුන් පැමිණි විට ඔවුන්ට මොකද වෙන්නේ කියලත් අපි හොයා බලන්න ඕනේ. මේ ක‍්‍රියාවලිය සඳහා සියලු පාර්ශවකරුවන් එක්විය යුතුයි. ඒකට මේ සංවාදය හොඳ උදාහරණයක්. රටට අදායම ගෙනදී රැකියාවෙන් පස්සේ නිවසට එන පුද්ගලයින්ට අපි මෙහිදී සළකන්න ඕනේ. ඒ වගේම ඔවුන්ගේ පවුල් පිළිබඳව සොයා බැලිය යුතුයි. ඒ වගේම බැලිය යුතුයි විශේෂයෙන් මාපියන් දෙදෙනාම රැකියා සඳහා විදේශ ගත වුණාම අපි කොහොමද ඒ අයගේ පවුල් බලාගන්නේ කියලා. ඊටත් වඩා බරපතළ කරුණක් තමයි විදෙස් ගත වන ශ‍්‍රමිකයින් විශාල පිරිසක් කාන්තාවන් වීම. අපි කොහොමද ඒ අය ආරක්‍ෂා කර ගන්නේ කියලා මේ සංවාදයේ දී සියලු පාර්ශවකරුවන් බලන්න ඕනේ"
මෙම අවස්ථාවට විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර, සාමාජික රටවල නියෝජිතයන්, ජාත්‍යන්තර කම්කරු සංගමයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.