ශ්‍රී ලංකා මාස්ටර්ස්ලාට තවත් සුපිරි ජයක්

ශ්‍රී ලංකා මාස්ටර්ස්ලාට තවත් සුපිරි ජයක්

March 10, 2025   10:38 pm

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාමගත් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවැත්වෙන 'ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්' තරගාවලියේ අද (10) පැවැති තරගයෙන් එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායම කඩුලු 9කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සමත්විය.

Shaheed Veer Narayan Singh ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමේ නායක කුමාර සංගක්කාර තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායමට ආරාධනා කිරීමටය.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 146ක් රැස්කළේය.

එහිදී එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායම වෙනුවෙන් P Mustard ලකුණු 50ක් රැස්කළේය. 

කෙසේ නමුත් ලකුණු 147ක ජයක්ග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 05ක් අවසානයේ ලකුණු 150ක් රැස්කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.

එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක කුමාර සංගක්කාර පන්දු 47කදී නොදැවී ලකුණු 106ක් රැස්කළේය.

අසේල ගුණරත්න පන්දු 12කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 22ක් රැස්කිරීමට සමත් විය.