මහින්දගෙන් හෙට තීරණාත්මක ප්‍රකාශයක්!
January 21, 2017 04:10 pm
‘ජාතික සමගිය වනසන-බෙදුම්වාදය දිනවන රනිල්ගේ ව්‍යවස්ථා මරඋගුලට එරෙහිව සටන් වදිමු!’ යන පුළුල් තේමාව යටතේ හෙට(22) සවස 3:00ට තම පක්ෂයේ විශේෂ මහා සමුළුව අතිසාර්ථකව පැවැත්වීමට සියලු කටයුතු සූදානම්කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ප්රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.
මෙම සමුළුව පක්ෂ සාමාජිකයන්ට පමණක් නොව ඉහත තේමාවට එකඟ සියලු ශ්‍රී ලාංකිකයන්ට විවෘත එකක් බවත් ඊට විශේෂ ආරාධිතයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී තීරණාත්මක ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවත් ඒ මහතා සඳහන් කළේය.
අද(21) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ අදහස් දැක්වීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
“බටහිර බලවතුන්ගේ සහ දෙමළ ඩයස්පෝරාවේ උවමනාවට 2015 ජනවාරි 08 වැනිදා සිදු වූ බල පෙරළියට එරෙහිව මේ රටේ වාමවාදී ජාතිකවාදී බලවේග සමඟ එක්ව පළමු වෙඩිමුරය තබන්න විමල් වීරවංශයන්ට හැකි වුණා. එදා බොහෝ පිරිස් පලායද්දී, සැඟවෙද්දී මේ රටේ නිවැරදි දැක්මක සිට දේශපාලනයේ නිතරවන ජාතික නිදහස් පෙරමුණ තීරණය කළා 2015 පෙබරවාරි 18 මේ බටහිර උවමනාවට එරෙහිව හමන සුළගක් වෙන්න. ඒ අනුව තමයි, දිනේෂ්, විමල්, වාසු, ගම්මන්පිල වැනි වාමවාදී ජාතිකවාදී නායකයන්ගේ මූලිකත්වයෙන් එදා නුගේගොඩ ඓතිහාසික ජන රැලිය නිර්මාණය වුයේ. එදා නිර්මාණය වූ ‘මහින්ද සුළඟ' දැන් වසර 02කට ආසන්න කාලයක් රට පුරාම ගලා යමින් තිබෙනවා.
‘යහපාලන ශේෂ පත්‍රය’
යහපාලනය ගැන බොරු දෙසා බාමින් තමන්ගේ බටහිර හාම්පුතුන්ගේ සහ ඉන්දියාවේ උවමනාවන් ඉටු කරනවා විනා මේ ආණ්ඩුව, රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් වසර 02ක් තිස්සේ කළ කිසිම දෙයක් නැහැ. මේ යමපාලකයන්ගේ වසර 02ක ශේෂ පත්‍රය දිහා බලන්න. රට බෙදන ව්‍යවස්ථාවක් ගෙන ඒම, ජුනි මාසයේදී ඉන්දියානුවන්ට මේ රටේ රැකියා වෙළඳපොළ විවෘත කරන එට්කා ගිවිසුම අත්සන් තැබීම, හම්බන්තොට වරාය, ත්‍රිකුණාමල වරාය හා කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය චිනයට, ඉන්දියාවට හා ඇමෙරිකාවට විකිණීම හා අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු ජනතා සුබසාධන කප්පාදු කිරීම ආදිය ඒ අතර වෙනවා. ආර්ථික වර්ධන වේගය 7%ක තිබුණු රටක් මේ ආණ්ඩුව වසර 02කදී ඇද දමාපු තැන බලන්න. 2016 අගභාගය වන විට රටේ ආර්ථික වර්ධන වේගය 3.42%ක් වෙලා.
‘ආණ්ඩුව හොඳටම බයවෙලා’
මේ ශේෂ පත්‍රයට එරෙහිව සියලු වාමවාදී ජාතිකවාදී බලවේග අද එකතු වෙමින් සිටිනවා. 2015 පෙබරවාරි 18 ඇරඹුණු ‘මහින්ද සුළඟ' අද මේ යහපාලන ආණ්ඩුවට එරෙහිව ‘මහා මේඝයක්’ වී හමනවා. ඒ නිසා ‘2017 බල පෙරළියක් සිදුවේය’ කියන අනාරක්ෂිත මනස මේ ආණ්ඩුවට ඇති වෙලා තිබෙනවා. සරලව කියනවානම් මේ ආණ්ඩුව හොඳටම බයවෙලා. ඒ නිසයි, 2017 බල පෙරළියට ජවය දෙන්න ජානිපෙ සංවිධානය කරන විශේෂ මහා සමුළුව කඩාකප්පල් කරන්න හැදුවේ. අපේ පක්ෂ නායකයා විමල් වීරවංශ මහතා හිරේ දාන්න වසර දෙකක් තිස්සේ මේ අය විමර්ශන කළා. නමුත් වංචා, දුෂණ, අල්ලස් චෝදනා ගොනු කරන්න බැරි වුණා. අන්තිමේදි ‘වාහන අවභාවිතය’ නොවෙයි ඊට අනුබලදීම කියා අභූත චෝදනා නගලා හිරගත කළා. නමුත් නායකයා හිර කරලා අපේ ගමන නවත්වන්න බැහැ. අපි හෙට (22) අතිසාර්ථකව අපේ විශේෂ මහා සමුළුව පවත්වනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙරටුකරගත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ඊට සහභාගී වෙනවා.
මේ ආණ්ඩුව නිවැරදි දැක්මක පිහිටා කටයුතු කරන ජනිපෙට බයයි. ඒකාබද්ධ විපක්ෂයට බයයි. ඒ විතරක් නොවෙයි වෘත්තිකයන්ට, මාධ්‍යවේදීන්ට, ශිෂ්‍යයන්ට, කම්කරුවන්ට බයයි. ඒ නිසා ඔවුන් අද මේ සියලු දෙනාට විරුද්ධව මර්දනය දියත් කරනවා. මේ අය කොයිතරම් බය වෙලාද කියනවා නම් අද මාධ්‍යවේදීන්ගේ ‘ඩ්‍රෝන කැමරාවලටත්’ බයයි. මේ මෝඩ ආණ්ඩුව තම බටහිර හාම්පුතුන්ගේ, දෙමළ ඩයස්පේරාවේ හා කිසිදු ජනපදනමක්, සිවිල් බලයක් නැති එන්.ජී.ඕ ඩොලර් කාක්කන්ගේ උවමනාවට රටක් වටිනා භික්ෂූන් වහන්සේලා, රණවිරුවෝ හා දේශපාලන නායකයන් මේ වසර 02 පුරා හිරේ විලංගුවේ දැම්මා. භික්ෂූන්වහන්සේලාගේ ලේ සෙලවූවා. මේවාට නුදුරේදීම මේ රටේ සැබෑ ජන බලවේගවලින් පිළිතුරු ලැබේවි".