බොදුබල සේනාව මහින්දට නම් මම අද සන්ධානේ නෑ

බොදුබල සේනාව මහින්දට නම් මම අද සන්ධානේ නෑ

December 12, 2014   01:35 pm

බොදුබල සේනා සංවිධානය මෙවර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන්නේ නම් තමන් සන්ධානය තුළ නොසිටින බව ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

නියෝජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේ කොළඹදී අද (12) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු මේ සම්බන්ධයෙන් ඇසූ පැනයකට පිළිතුරු ලෙසය.

බොදුබල සේනා සංවිධානය සෘජුව හෝ වක්‍රව මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශයට පත් කර නැති බව හෙතෙම පෙන්වාදුන්නේය.

එසේ නොවන්නට බොදුබල සේනාව මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන්නේ නම් තමා අද සන්ධානේ නැතැයි නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේය.

මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රීලනිප ‍මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටියේ මෙරට සිටි විධායක ජනපතිවරුන් දේශපාලනයෙන් සමුගත් පසු පක්ෂාග්‍රාහීව ක්‍රියා නොකළ නමුත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එසේ නොවන බවයි.

ඇය හිටපු ජනපතිනියක් ලෙස තිබූ ගෞරවයද නැති කරගෙන ඇතැයි හෙතෙම පෙන්වාදුන්නේය.

මේ අතර තිස්ස අත්තනායක හා දයාසිරි ජයසේකර පක්ෂයෙන් ඉවත් වුයේ වැදගත් විදියට නමුත්, මෛත්‍රිපාල සිරිසේන මහතා අරලියගහ මන්දිරයේ සිට පොදු අපේක්ෂක වීම දක්වා කර ඇත්තේ කුමන්ත්‍රණයක් බවත්, එය වූ කලී දිය රෙද්දෙන් බෙල්ල කෑපීම හා සමාන වැඩක් යැයිද ඔහු පැවසීය.

මේ අතර මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට ඉදිරිපත් වූ කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රා.සභා මන්ත්‍රී ප්‍රසන්න සෝලාංගආරච්චි මහතා ඊ‍ෙය් (11) මාධ්‍ය හමුවක් පවත්වමින් ඩිෆෙන්ඩර් තමන්ගේ නිවස වටා සැරිසරමින් සිය ජීවිතයට තර්ජනය එල්ල කර ඇතැයි කළ ප්‍රකාශය ගැන ද මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් ඇසුවේය.

එහිදී අනුර ප්‍රියදර්ශනයාපා ඇමතිවරයා කියා සිටියේ “අයි‍යෝ පිස්සුද අපිට හාල් මැස්සෙක් අල්ලගන්න” අවශ්‍යතාවයක් නැති බවයි.

එයා අයින් වුණා නම් දේශපාලනය කරන්න ඕනෑ බව පැවසු ඇමතිවරයා, ප්‍රාදේශීය සභාවේ සම්පත් අයුතු ලෙස භාවිතා කළ බවට නම් ඔහුට චෝදනා ඇති බව ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවට එක්වූ ඇමති කුමාරවෙල්ගම කියා සිටියේ තමන් මැරෙන තුරු ශ්‍රීලනිපය හැර නොයන බවත්, තමන්ගේ පුතාට ද එම අවවාදය දී ඇති බවත්, යනුවෙනයි.

මන්ද යත් පුතාට ඡන්දය හම්බවුණේ තාත්තා නිසා යනුවෙන් ඇමතිවරයා පැවසීය.

මේ අතර සන්ධානයේ රැස්වීම්වලට ලංගම බස්වලින් සෙනඟ ඇදීම ගැන ප්‍රශ්නයට වෙල්ගම ඇමතිවරයා කියා සිටියේ සල්ලි දෙනවා නම් ද්‍රවිඩ සන්ධානයේ නායක සම්බන්ධන්ටද බස් දෙන බවයි.