අපරාධයක් නම් SMS කරන්න

August 14, 2012   01:41 pm

රටපුරා සිදුවන අපරාධ, අනතුරු වැනි තොරතුරු දැනුම්දීම සඳහා කෙටි පණිවිඩ සේවාවක් ආරම්භ කිරීමට ද පොලිස් මුලස්ථානය තීරණය කර තිබේ.

දැනට ක්‍රියාත්මක 119 හදීසි ඇමතුම් සේවාව ඔස්සේ තොරතුරු ලබාදිය හැකි වුවත් එය ප්‍රමාණවත් නොවන බැවින් මෙම සේවාව හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

මේ ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයකි.

119 ක්ෂණික දුරකථනය ඔස්සේ අපරාධ, අනතුරු ආපදා හෝ වෙනත් කරුණු සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමේ සේවාව දැනට වසර කීපයකට පෙර හඳුන්වා දුන් අතර මේ වර්ෂයේ මුල් භාගයේදී එය තව දුරටත් පුළුල් කරමින් එක් වරකට ඇමතුම් 20ක් පමණ ලබා ගත හැකි ක‍්‍රමවේදයක් හඳුන්වා දෙන ලදි.

කෙසේ වෙතත් එයද ප‍්‍රමාණවත් නොවන බව පෙනීගොස් ඇත. එමෙන්ම දැනට වර්ෂයකට පමණ ඉහතදී telligp නැමැති විද්‍යුත් තැපෑල හඳුන්වා දුන් අතර එමගින්ද ජනතාවට තොරතුරු දැන්වීමට හැකිවිය. එහි දෙවන අදියර ලෙස SMS හෙවත් කෙටි පණිවුඩ මගින් තොරතුරු දැන්වීමේ ක‍්‍රමවේදයක් හඳුන්වා දීමට බලාපොරොත්තුවන අතර මෙම සේවාව 146 වන පොලිස් දිනය යෙදෙන 2012 සැප්තැම්බර් 03 දින හඳුන්වා දීමට නියමිතය. ඒ අනුව ඕනෑම ජංගම දුරකථන ජාලයකින් කෙටි පණිවුඩ එවීමේ හැකියාවක් ඇත.

විශේෂයෙන්ම 119 දුරකථන අංකය කාර්ය බහුල බව බොහෝ දෙනා පවසන අතර එවැනි අවස්ථාවකදී වුවද මෙසේ කෙටි පණිවිඩ ඔස්සේ එවිය හැකිය. එසේ එවන කෙටි පණිවිඩවලට අදාළ තොරතුරු ඒ මොහොතේම අදාළ පොලිස් ස්ථානවලට දැනුම්දීමට අපේක්ෂා කරන අතර ක්ෂණික ක‍්‍රියාමාර්ග ගනු ඇත. මෙම වැඩ සටහන පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ගාමිණී නවරත්න මහතා විසින් හඳුන්වා දෙන ලදි.

කෙසේ වෙතත් 119 හෝ කෙටි පණිවිඩ හරහා වැරදි හෝ අසත්‍ය තොරතුරු සැපයුවහොත් ඔවුන්ට විරුද්ධව ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 180 වගන්තිය යටතේ නඩු පැවරීමට කටයුතු කරන අතර ඒ වගන්තියට අනුව වරදක් කරන තැනැත්තෙකුට හය මාසයක බන්ධනාගාර ගත කිරීමකින් හා දඩයකින් දඩුවම් කල හැකිය.

එමෙන්ම යම් තැනැත්තෙකුට විරුද්ධව සාධාරණ හෝ නීත්‍යානුකූල කරුණු නොමැතිව චෝදනා නගන තැනැත්තෙකුට ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 208 වන වගන්තිය යටතේ නඩු පැවරිය හැකි අතර අවුරුදු දෙකක කාළයක් බණ්ධනාගාර ගතකිරීමෙන් හා දඩයකින්ද දඩුවම් කල හැකිය.

දැනට 119 වෙත දිනකට දුරකථන ඇමතුම් 6500 ක් පමණ ලැබෙන අතර එයින් 4300 ක් ම නිරර්ථක ඇමතුම්ය. එම නිසා ඉහත සේවාවන් හුදෙක්ම හදිසි අවශ්‍යතා සහ සත්‍ය කරුණු දැන්වීම සඳහා පමණක්ම යොදා ගන්නා ලෙස මහජනතාව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.