රත්මලානේ නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරයට 4ක් අත්අඩංගුවට

රත්මලානේ නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරයට 4ක් අත්අඩංගුවට

August 9, 2026   07:40 am

රත්මලාන, ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධියට සැකපිට සැකකරුවන් සිව්දෙනෙකු පොලිසිය විසින් ඊයේ (8) අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් අගෝස්තු 5වැනිදා දෙමහල් නිවසකට අත්බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී තිබූ අතර, ඉන් එකක් පුපුරා ගොස් අනෙක ගෙවත්තේ වැටී තිබියදී පොලීසිය සොයාගත්තේය.

ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබූ ගල්කිස්ස පොලිස් ස්ථානය, මොරටුව හා රත්මලාන ප්‍රදේශවලදී මෙම  සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

ඔවුන් අවුරුදු 21, 26, 28 හා 30 වයස්වල පසුවන මොරටුව හා රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත මෙම අපරාධය සිදුකර ඇති බවත්, සංවිධානාත්මක අපරාධකරුවන් අතර පවතින ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වී ඇති බවත්, දැනට සිදුකරන ලද විමර්ශන අනුව අනාවරණය වී ඇත. 

මෙම අත්බෝම්බ ප්‍රහාරය හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදු නොවූ අතර, නිවසේ ජනෙල් පියන් 2ක වීදුරු පුපුරා ගොස් තිබුණි.

ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.