විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා නම් ජනමත විචාරණයකට යන්න - නීතීඥ සංගමය
July 28, 2026 09:36 am
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දැනට පවතින විනිසුරු පුරප්පාඩු පිරවීමට ජනාධිපතිවරයා පියවර නොගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.
ටීවී දෙරණ නාලිකාවේ '360' කාලීන වැඩසටහන සමඟ එක්වෙමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, නීතීඥ රජීව් අමරසූරිය මහතා මේ බව අවධාරණය කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දැනට විනිසුරු පුරප්පාඩු අටක් පවතින බවත්, ව්‍යවස්ථාවට අනුව එම තනතුරු සඳහා නම් යෝජනා කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් වුවද මාස ගණනාවක් තිස්සේ එම පත්කිරීම් මඟහැර සිටීම බරපතළ ගැටලුවක් බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ සූදානමක් පිළිබඳව මීට සති කිහිපයකට පෙර තමන් කිසිවක් නොදන්නා බව පැවසූ රජයේ පාර්ශවයන්, නීතීඥ සංගමයේ අදහස් විමසීමක් පවා සිදු නොකර මෙලෙස කටයුතු කිරීම පිටුපස බරපතළ දූෂණයක් පවතින බවට ද ඔහු චෝදනා කළේය.
මෙවැනි සංශෝධනයක අවශ්‍යතාවයක් පවතී නම් ඒ පිළිබඳව පළමුව විවෘතව සාකච්ඡා කළ යුතු බවත්, අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට රජයට සැබෑ වුවමනාවක් ඇත්නම් ඊට පෙර සෘජුවම ජනමත විචාරණයකට ගොස් ජනතාවගෙන් අදහස් විමසිය යුතු බවත් නීතීඥ රජීව් අමරසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, නීතීඥ රජීව් අමරසූරිය මහතා,
"මොකක්ද මේ හදිස්සිය? මේක මේ මීටර් 100 රේස් එකක්නේ දුවන්නේ. එතකොට සති දෙක තුනකට ඉස්සෙල්ලා ආණ්ඩුවේ කවුරුත් කිව්වේ නෑනේ මේක කරනවා කියලා. හැමෝම කිව්වේ එහෙම කතාවක් තියෙනවා, ඇහිලා තියෙනවා, මං හිතන්නේ අධිකරණ ඇමතිතුමාත් එක වෙලාවක කිව්වා දන්නෑ කියලා. ඊට පස්සේ පස්සේ කිව්වා ඒ වගේ කතාවක් තියෙනවා කියලා. ඉතින් කොහෙන්ද මේක ආවේ.. මේක ඇත්තටම දූෂණයක්...
අපට වේකන්සීස් අටක් තියෙනවා මේ සුප්‍රීම් කෝර්ට් එකේ. ඒවා පුරවන්නේ නෑ. ඒක අපේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිතුමා නමක් යවන්න ඕනේ. ඉතින් මාස ගාණක් පත් කරන්නේ නෑ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන වගන්තීන් හා සම්ප්‍රදායත් කඩ කිරීමක්. මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා ආණ්ඩුවෙන්, ජනාධිපතිතුමාගෙන් මේ ගැන අයෙත් හිතලා බලන්න. මේක මේ වෙලාවේ අවශ්‍ය දෙයක් නෙවෙයි. වැඩි කරන්න ඕන නම් අපි සාකච්ඡා කරලා බලමු...
ජනමත විචාරණයකට තමයි යන්න වෙන්නේ. කෙලින්ම ජනමත විචාරණයකට ගිහිල්ලා ජනතාවගෙන් අහන්න. කවුරු මොකක් කිව්වත් අන්තිමටම බලය තියෙන්නේ ජනතාව අතේ... ඉතින් අපි ජනතාවගෙන් අහමු..''
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සදහා වූ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සදහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී මෙම අනුමැතිය හිමිවූ බවය.
ඒ අනුව අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු සියලු අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සදහා වූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
