හොරණ දිස්ත්‍රික් මහ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමට ගැසට් නිවේදනයක්
July 28, 2026 05:25 pm
දැනට බස්නාහිර පළාත් සභාව මගින් පරිපාලනය කරනු ලබන හොරණ දිස්ත්‍රික් මහ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීම සඳහා වූ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මේ වන විට හොරණ දිස්ත්‍රික් රෝහලෙහි මුළු ඇඳන් ධාරිතාවය 544ක් වන අතර අනුමත කාර්ය මණ්ඩලය 739කි.
හොරණ ප්‍රදේශය සහ ඒ අවට කළුතර, කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අයත් ප්‍රදේශ ආවරණය කරමින් මධ්‍යගතව පිහිටා ඇති මෙම රෝහල මඟින් ආසන්න වශයෙන් ලක්ෂ දහයක් පමණ වූ ජනගහනයකට සෞඛ්‍ය සේවා සපයනු ලබයි.
දිස්ත්‍රික් මහ රෝහලක් ලෙස තෘතීයික සත්කාර සේවා සැපයීම පිණිස අදාළ පහසුකම් සහ මානව සම්පත ඉහළ නැංවීමේ අවශ්‍යතාව අනුව, එම රෝහල සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම යෝග්‍ය බවට හඳුනා ගෙන තිබුණි.
ඒ සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ එකඟතාව ලැබී තිබූ අතර පසුගිය ජුනි 30 වැනි දින මෙම රෝහල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණි.
එම අනුමැතිය මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිරීක්ෂණ සහ නිර්දේශයන්ට යටත්ව ලබා දී ඇත.
