නොසිතූ මොහොතක අවාසනාවන්ත ඉරණමක්  

නොසිතූ මොහොතක අවාසනාවන්ත ඉරණමක්  

July 26, 2026   10:50 am

දඹුල්ල - මාතලේ  ප්‍රධාන මාර්ගයේ කපුවත්ත ප්‍රදේශයේදී  කුඩා ටිපර් රථයක් රියදුරට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසළ සිටි මවකගේ හා දරුවන් දෙදෙනෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් මව ජීවිතක්ෂයට පත්ව ඇති අතර දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලීසිය පවසයි.

ඊයේ (25) සිදුවූ අනතුරින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දඹුල්ල කපුවත්ත ප්‍රදේශයේ පදිංචි ඩී .එම්. දිලානී අරෝෂා නැමැති 46 හැවිරිදි  සිව් දරු මවකි.

තුවාල ලැබූ දරුවන් දෙදෙනාගෙන් වැඩිමහල් දරුවා දඹුල්ල රෝහ‍ලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කොට ප්‍රතිකාර ලබන අතර අනෙක් දරුවා රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන සඳහන් වෙයි.

මියගිය මව කුවෙට් රාජ්‍යයේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කොට පසුගිය අටවන දින ලංකාවට පැමිණ තිබේ.

අනතුරින් බරපතළ තත්ත්වයේ පසුවන වැඩිමහල් පුතුගේ පවතින අපලයක් සඳහා වයස අවුරුදු 18 ඉක්මවා 19 ලබන විට භාරයක් ඔප්පු කිරීමට කතරගම යෑම සඳහා මෙම පිරිස සූදානම් කොට ඊයේ පුතුන් දෙදෙනා සමඟ දඹුල්ල නගරයට පිටත්ව ගොස් ඇත්තේ භාරය ඔප්පු කිරීම සඳහා අවැසි රෙදි සහ අනෙකුත් බඩුභාණ්ඩ ලබා ගැනීමටය.

පසුව නිවසට පැමිණ රාත්‍රී විශේෂ ආහාර වේලක් සකස් කිරීම සඳහා වෙළඳසැලට යාමට සූදානම්ව පාරේ අයිනේ රැඳී සිටින අවස්ථාවේදී මාතලේ දෙසින් දඹුල්ල දෙසට ඉතා අධික වේගයෙන් ධාවනය කළ ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මෙම තිදෙනා යට කරගෙන ගොස් ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වූ බව පොලීසිය පවසයි.

බරපතළ තුවාල ලබා සිටින වැඩිමහල් දරුවා දඹුල්ල වීර මොහාන් ජයමහා විදුහලේ දක්ෂ ක්‍රීඩකයෙකු වන අතර ඔහු මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සුදානමින් සිටින අයෙකු බව සඳහන් වෙයි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.