විදෙස් ඇමති ලෝක බලවතුන් රැසක් සමඟ සාර්ථක ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි
July 24, 2026 07:57 am
පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන ආසියාන් කලාපීය සංසදයේ (ARF) 33 වැනි අමාත්‍ය මට්ටමේ රැස්වීමට සහ මිත්‍රත්වය හා සහයෝගීතාව පිළිබඳ ගිවිසුමේ 50 වැනි සංවත්සර සැමරුම් උත්සවය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගී ව සිටියි.
ඊයේ ( 23) සහ අද (24) දෙදින පුරා පැවැත්වෙන මෙම රාජ්‍ය තාන්ත්‍රික සංචාරයේදී අමාත්‍යවරයා විශේෂ දේශන පැවැත්වීමට නියමිත අතර, මින්දනාඕ හි ශ්‍රී ලංකා නිවේතනික කොන්සල් කාර්යාලය නිල වශයෙන් විවෘත කිරීමටද කටයුතු යොදා ඇත.
මෙම සමුළුවට සමගාමීව විදේශ අමාත්‍යවරයා ලෝක බලවතුන් හා කලාපීය නායකයන් රැසක් හමුවී ශ්‍රී ලංකාවට වැදගත් ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.
රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් (Sergey Lavrov) මහතා හමුවූ අමාත්‍යවරයා, දෙරට අතර පවතින සබඳතා සමාලෝචනය කර ඇති අතර 2027 වසරට යෙදෙන 70 වැනි රාජ්‍ය තාන්ත්‍රික සංවත්සරය සැමරීම වෙනුවෙන් සමීපව කටයුතු කිරීමට එකඟතාව පළ කර තිබේ.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) මහතා හමුවී ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීමට සාකච්ඡා කර ඇති අතර, ඉන්දියාවේ අමෙරිකානු තානාපති සහ දකුණු හා මධ්‍යම ආසියාව පිළිබඳ විශේෂ නියෝජිත Sergio Gor මහතා හමුවී වෙළෙඳ සබඳතා මෙන්ම ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා ලබාගත හැකි සහයෝගීතාවන් ගැනද අවධානය යොමු කළ බව සඳහන් වේ.
බ්‍රසීල විදේශ අමාත්‍ය මවුරෝ වීරා (Mauro Vieira) මහතාවද හමුව ඇත අතර, ශ්‍රී ලංකාවේ උක් වගා කර්මාන්තයේ සංවර්ධනය උදෙසා තාක්ෂණික සහාය ලබා දීමට බ්‍රසීලය ඉදිරිපත් වීම පිළිබඳව අමාත්‍යවරයා එහිදී සිය කෘතඥතාව පළ කළ බව අමාත්‍යාංශය නිවේදනය කළේය.
ඊජිප්තු විදේශ අමාත්‍ය ආචාර්ය බදර් අබ්දෙලැටි (Dr. Badr Abdelatty) මහතා හමුවී දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව සාකච්ඡා කර ඇත.
එමෙන්ම පාකිස්තානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය මොහොමඩ් ඉෂාක් ඩාර් (Mohammad Ishaq Dar) මහතා හමුවී දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීමට පියවර ගෙන තිබේ.
බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඛලීලුර් රහ්මාන් (Dr. Khalilur Rahman) මහතා සමඟ පැවැති හමුවේදී දෙරට අතර වෙෙළඳ, ආයෝජන සහ බහුපාර්ශ්වික සමුළු තුළ සහයෝගීතාව පුළුල් කිරීම ගැන අවධානය යොමු කර ඇත.
මීට අමතරව, පිලිපීන විදේශ කටයුතු ලේකම් මා. තෙරේසා පී. ලසාරෝ මහත්මිය, ආසියාන් මහලේකම්වරයා මෙන්ම යුරෝපා සංගමයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟද ඉදිරියේදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.
