ඩෙංගු මරණ 59 දක්වා ඉහළට

ඩෙංගු මරණ 59 දක්වා ඉහළට

July 24, 2026   10:13 am

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබේ.

එම වාර්තාවේ සඳහන් වන්නේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,114 ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

ඊයේ (23) දින වන විට මරණ වාර්තා වී තිබුණේ 57ක් වන අතර සමස්ථ රෝගීන් සංඛ්‍යාව වුයේ 79,016 කි.

කෙසේ වෙතත් අද දිනයේදී මරණ අනුපාතය දැක්වෙන්නේ 0.07%ක් ලෙසය.

අදාළ වාර්තාව අනුව, ජූනි (21,534) සහ ජූලි (24,739) මාසවලදී ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇත.

ඒ අනුව 2026 වසරේ 29 වන සතිය වන විට අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) බලප්‍රදේශ සංඛ්‍යාව 175ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2,391ක් ලෙස සටහන් වේ.

එම වාර්තාවට අනුව ඊයේ (23) මධ්‍යම රාත්‍රිය වන විට මෙරට සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 52.94%ක් එනම් 42,414 දෙනෙකු වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.

ඊට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 12,154ක් එනම් 15.17% ප්‍රතිශතයක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 6,837ක් එනම් 8.53%ක ප්‍රතිශතයක් වාර්තා වී තිබේ.

එම දත්ත අනුව මධ්‍යම පළාතේද ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් දක්නට ලැබේ.

ඊට අමතරව, දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් වාර්තා වූ ආකාරය පහත පරිදි වේ.

ගම්පහ දිස්ත්‍රික්කය - 16,950 (21.16%)

කොළඹ දිස්ත්‍රික්කය- 16,021 (20.00%)

මාතර දිස්ත්‍රික්කය - 5,534 (6.91%)

මහනුවර දිස්ත්‍රික්කය - 5,437 (6.73%)

කළුතර දිස්ත්‍රික්කය - 5,245 (6.55%)

රත්නපුර දිස්ත්‍රික්කය - 4,482 (5.59%)

ගාල්ල දිස්ත්‍රික්කය - 4,430 (5.53%)

පළාත් මට්ටමින් රෝගීන් වාර්තා වීම

පළාත          රෝගීන් සංඛ්‍යාව     ප්‍රතිශතය (%)
බස්නාහිර       42,414                  52.94%
දකුණ     12,154              15.17%
මධ්‍යම     6,837             8.53%
සබරගමුව       6,661                 8.31%
වයඹ       3,875             4.84%
නැගෙනහිර       3,438                   4.29%
ඌව      2,154               2.69%
උතුරු මැද         1,408             1.76%
උතුර    1,173           1.46%

පවතින වර්ෂාපතනයත් සමඟ මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීම මෙම ශීඝ්‍ර ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇති අතර, තමන් වටා ඇති පරිශ්‍ර පිරිසිදුව තබා ගන්නා ලෙසත්, උණ තත්ත්වයක් පවතී නම් ප්‍රමාද නොවී සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසත් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් නැවත නැවතත් ඉල්ලා සිටී.