දෙහිවල කනත්තේ වෙඩි තැබීමේ අලුත්ම විස්තර - CCTV සහිතයි
July 19, 2026 05:18 pm
දෙහිවල - ගල්කිස්ස "නිසල සෙවණ" පොදු සුසාන භූමිය තුළදී අද (19) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කවිඳු මධුසංක නොහොත් "සැන්ඩෝ" නැමැත්තාගේ පියා බව පොලීසිය පවසයි.
56 හැවිරිදි එම පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ ඕබන් සයිඩ් ධීවර නිවාසවල පදිංචිකරුවෙකු වන අතර සුසාන භූමියේ කම්කරු සේවකයෙකු ලෙස සේවය කර ඇති බව වාර්තා වේ.
පොලීසිය සඳහන් කළේ අද පස්වරු 03.25 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.
තුවාලකරු සුසාන භූමිය තුළ කිසියම් රාජකාරියක නිරතව සිට, අනතුරුව අවමංගල්‍ය උත්සවයක් සඳහා පාංශකූල ලබාදෙන ස්ථානයට පැමිණ සිටි අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
සුදුවතින් සැරසී, මුහුණු ආවරණය වන පරිදි ආරක්ෂිත හිස්වැසුම් පැළඳ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
වෙඩික්කරුවන් යතුරුපැදිය සුසාන භූමියෙන් එළියේ නවතා තබා මීටර් විස්සක් පමණ පා ගමනින් සුසාන භූමිය තුළට පැමිණ, අදාළ පුද්ගලයා ඉලක්ක කර වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර නැවත පා ගමනින්ම ගොස් යතුරුපැදියේ නැඟී පළාගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලිස් ආරංචි මාර්ග පවසන්නේ මෙම ප්‍රහාරය සඳහා මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවය.
වෙඩි ප්‍රහාරයෙන් අදාළ පුද්ගලායාගේ වම් අතට සහ පපු ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇති අතර, ඔහු මේ වනවිට කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවේ.
මෙම වෙඩි තැබීම තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන "කොස් මල්ලි" නැමැත්තා විසින් මෙහෙයවන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
