බස් රථ ඇතුළු සියලු පොදු ප්රවාහන රථවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණයක්
July 20, 2026 08:53 am
පොදු ප්රවාහන සේවා සපයන බස් රථ ඇතුළු සියලු රථවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කර ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික කවුන්සිලය පවසයි.
එහි සභාපති මංජුල කුලරත්න මහතා පැවසුවේ මෙම ක්රියාවලිය සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවය.
මෙරට පොදු ප්රවාහනයේදී සිදුවන රිය අනතුරුවලට ප්රධාන හේතුව වී ඇත්තේ රියදුරන්ගේ නොසැලකිල්ල සහ වාහනවල පවතින විවිධ දුර්වලතා බව පෙන්වා දෙන ඒ මහතා මේ පිළිබඳව අවධානය යොමු කරමින් පොදු ප්රවාහනයේ යෙදෙන බස් රථ ඇතුළු සියලු වාහනවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.
මෙම තත්ත්ව පරීක්ෂාව සඳහා සුදුසුකම් ලත් තාක්ෂණික නිලධාරීන් බඳවා ගැනීම වෙනුවෙන් මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
අදාළ බඳවා ගැනීම්වලින් පසු සැප්තැම්බර් අග වන විට මෙම ක්රියාවලිය ආරම්භ කිරීමට හැකි වනු ඇති බවත් පැවසූ ඒ මහතා ඒ අනුව මෙරට පොදු ප්රවාහනයේ යෙදෙන සියලුම රථවාහනවල තත්ත්ව පරීක්ෂාවන් සිදු කිරීමට පියවර ගන්නා බවද පැවසීය.
