පොලීසියේ ඉහළම පුටුවට ආ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් හෝරා කිහිපය
July 17, 2026 12:44 pm
ශ්‍රී ලංකා පොලිස් සේවයේ දශක තුනකට අධික කාලයක් සේවය කරමින් දක්ෂ නිලධාරීයෙකු ලෙස වෘත්තීය ජීවිතය ගොඩනැගූ නිලධාරියෙකු ලෙස හිටපු පොලිස්පති චන්දන දිපාල් (සී.ඩී.) වික්‍රමරත්න මහතා සැලකෙයි.
වෘත්තීය දක්ෂතාව, බුද්ධි අංශයේ අත්දැකීම් සහ අධ්‍යාපනික සුදුසුකම් රැසක් සමඟ පොලිස් සේවයේ ඉහළම තනතුරට පැමිණි ඔහුගේ ජීවිතය, විශ්‍රාම ගැනීමෙන් වසර කිහිපයකට පසු සිදුවූ අවාසනාවන්ත මරණයත් සමඟ යළිත් රටේ අවධානයට ලක්ව තිබේ.
ආනන්දයෙන් පොලිස් සේවයට
1963 මාර්තු 26 වැනිදා උපත ලැබූ සී.ඩී. වික්‍රමරත්න මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී (BSc) උපාධිය ලබාගත් ඔහු, 1986 වසරේදී පරිවාස පොලිස් සහකාර අධිකාරීවරයකු (ASP) ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්විය.
බුද්ධි අංශයේ කැපී පෙනුණු නිලධාරියෙක්
පොලිස් සේවයේ වසර 30කට අධික කාලයක් සේවය කර ඇති ඔහු ඉන් වැඩි කාලයක් සේවය කර ඇත්තේ, පොලිස් බුද්ධි අංශයේය.
පසුව ඔහු විවිධ තනතුරු හොබවමින් පොලිස්පති ලෙස පත්වීමට ප්‍රථම දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කළේය.
සී.ඩී. වික්‍රමරත්නගේ අධ්‍යාපනය ගමන
සිය වෘත්තීය ජීවිතය සමඟම අධ්‍යාපනයටද මුල් තැන දුන් සී.ඩී. වික්‍රමරත්න මහතා, ජාතික හා ජාත්‍යන්තර විශ්වවිද්‍යාල තුළින් උසස් අධ්‍යාපනය හරදා තිබේ.
2006 වසරේදී ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, බ්‍රිතාන්‍යයේ බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ගැටුම් නිරාකරණය සහ ආරක්ෂක අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධියත් ලබාගෙන ඇත.
මීට අමතරව 2016 වසරේදී ඇමෙරිකාවේ හාර්වඩ් විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද ගැටලු මුල් කරගත් ප්‍රත්‍යාවර්තී අනුවර්තනය (PDIA) – රාජ්‍ය හැකියාව ගොඩනැගීම වැඩසටහනද සාර්ථකව සම්පූර්ණ කර තිබේ.
එය රාජ්‍ය පරිපාලනය, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම සඳහා පිරිනමන ජාත්‍යන්තර වෘත්තීය සුදුසුකමකි.
මෙම අධ්‍යාපනික ජයග්‍රහණ ඔහුගේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථාන ලෙස සැලකේ.
පාස්කු ප්‍රහාරයෙන් පසු ලැබුණු වගකීම
2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසුව, 2019 අප්‍රේල් 28 වැනිදා සී.ඩී. වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරිණි.
මාස 18කට ආසන්න කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඔහු, 2020 නොවැම්බර් 25 වැනිදා ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස නිල වශයෙන් පත්විය.
සේවා දිගු කිහිපයක්
සී.ඩී. වික්‍රමරත්න මහතා 2023 මාර්තු 26 වැනිදා විශ්‍රාම යෑමට නියමිතව සිටියද, රජය විසින් සේවා දිගු කිහිපයක් ලබාදුන්නේය.
පළමු සේවා දිගුව – 2023 මාර්තු 26 සිට ජූනි 26 දක්වා
දෙවන සේවා දිගුව – 2023 ජූනි 27 සිට ඔක්තෝබර් 13 දක්වා
තෙවන සේවා දිගුව – 2023 ඔක්තෝබර් 13 සිට නොවැම්බර් 3 දක්වා
අවසාන සේවා දිගුව – 2023 නොවැම්බර් 3 සිට නොවැම්බර් 25 දක්වා
ඒ අනුව, 2023 නොවැම්බර් 25 වැනිදා ඔහු නිල වශයෙන් පොලිස් සේවයෙන් විශ්‍රාම ගත්තේය.
විශ්‍රාම දිවිය සහ අවාසනාවන්ත අවසානය
විශ්‍රාම ගැනීමෙන් පසු මාලඹේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ පදිංචිව සිටි හිටපු පොලිස්පතිවරයා, ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවියෙන් වෙඩිතබාගෙන අද උදෑසන සියදිවි හානිකරගෙන තිබිණි.
වෙඩිවැදීමෙන් බරපතළ තත්ත්වයේ සිටි හිටපු පොලිස්පතිවරයා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බව වාර්තා වෙයි.
විමර්ශන
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇති අතර, මරණයට හේතුව සහ සිද්ධියේ සියලු කරුණු අනාවරණය කර ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය පරීක්ෂණ, මහේස්ත්‍රාත් පරීක්ෂණ සහ අපරාධ පරීක්ෂණ මේ වනවිටත් සිදු කෙරෙමින් පවතී.
