මුල් ළමාවිය ගුරුභවතුන් සහ රැකබලාගන්නන් වෙනුවෙන් වන ජාතික වැඩසටහන අරලියගහ මන්දිරයේදී
July 17, 2026 04:34 pm
මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳව ජාතික සතියේ තෙවන දිනය සනිටුහන් කරමින් මුල් ළමාවිය ගුරුභවතුන් සහ රැකබලාගන්නන් වෙනුවෙන් වන ජාතික වැඩසටහන අගමැතිවරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
මෙවර මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය සමරනු ලබන්නේ "විකසිත වන ළමා ලොවට - හිරු කිරණකි සොඳුරු පවුල" යන්න තේමා කරගනිමිනි.
දිවයිනේ සියළු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණි පෙර පාසල් ගුරුභවතුන් 600 ක් වෙනුවෙන් පෙර පාසල් දරුවාගේ සමාජ සහ චිත්තවේග සංවර්ධනයට හා සමාජානුයෝජනයට අවශ්‍ය පෝෂක පරිසරයක් ගොඩනැගීම සඳහා පෙර පාසල් ගුරුවරයාගේ සහ රැක බලාගන්නන්ගේ කාර්යයභාරය පිළිබඳව විද්වත් සාකච්ඡාවක් සංවිධාන කර තිබුණි.
මෙම අවස්ථාවට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය, තනාපතිවරුන්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය නියෝජනය කරන නිලධාරීන්, පෙර පාසල් ගුරුභවතුන් එක්ව සිටියහ.
