මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි

මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි

July 2, 2026   12:42 pm

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025/2026 වර්ෂයන්ට අදාළව ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ඊ-ආර්ථික සංගණනය’ (e-Census 2026) ආරම්භ කර තිබේ. 

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම ජාතික වැඩපිළිවෙළෙහි මූලික අරමුණ වන්නේ රටේ කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ නවතම සහ විශ්වසනීය සංඛ්‍යාන තොරතුරු සම්පාදනය කිරීමය.

දත්ත මත පදනම් වූ ආර්ථික සැලසුම්කරණයකට ශක්තිමත් පදනමක් සපයන මෙම සංගණනය, රටේ පවත්නා සියලුම කර්මාන්ත, ඉදිකිරීම්, වෙළෙඳ හා සේවා කටයුතු ආවරණය කරමින් ක්‍රියාවට නැංවේ.  

මෙම සංගණනයේ පළමු අදියර ලෙස, සේවක සංඛ්‍යාව 50 හෝ ඊට වැඩි විශාල පරිමාණ ආයතනවල තොරතුරු රැස් කිරීම ඊයේ (01) සිට ආරම්භ කර ඇත. 

මෙම නවීන ඩිජිටල් ක්‍රමවේදය යටතේ අදාළ ආයතනවලට අන්තර්ජාලය ඔස්සේ ආරක්ෂිතව, පහසුවෙන් සහ කාර්යක්ෂමව, තමන්ට පහසු වේලාවක ඕනෑම ස්ථානයක සිට ස්වාධීනව තොරතුරු ඉදිරිපත් කිරීමේ පහසුකම සලසා දී තිබේ. 

මෙමඟින් දත්ත රැස්කිරීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත්, පිරිවැය-ඵලදායී සහ පරිසර හිතකාමී වන අතර, තොරතුරුවල නිරවද්‍යතාව මෙන්ම කාලීනභාවය ද ඉහළ නැංවීමට ඉමහත් දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඊ-සංගණනය මඟින් රැස් කරනු ලබන මෙම දත්ත, ජාතික සංවර්ධන සැලසුම්කරණය, ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය, ආයෝජන ප්‍රවර්ධනය සහ සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීම සඳහා ශක්තිමත් පදනමක් සකස් කරනු ලබයි. 

මෙලෙස ලබාදෙන සියලුම තොරතුරු සංගණන ආඥාපනත සහ සංඛ්‍යාලේඛන ආඥාපනත යටතේ පූර්ණ රහස්‍යභාවයෙන් ආරක්ෂා කරන බවද සඳහන් වේ.

මෙම තොරතුරු සංඛ්‍යානමය කටයුතු සඳහා පමණක් භාවිත කරන අතර, පුද්ගල හෝ ආයතන මට්ටමේ කිසිදු තොරතුරක් බාහිර කිසිදු පාර්ශ්වයකට අනාවරණය නොකරන බව ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.

මෙම ක්‍රමවේදය යටතේ තොරතුරු ලබාදීමට අපේක්ෂා කරන, සේවක සංඛ්‍යාව 50 හෝ ඊට වැඩි සියලුම කර්මාන්ත, ඉදිකිරීම්, වෙළෙඳ හා සේවා ආයතන, ප්‍රථමයෙන් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස ලියාපදිංචි විය යුතුය. 

ලියාපදිංචියෙන් අනතුරුව, අදාළ ආයතනය සඳහාම සකස් කරන ලද විශේෂිත සබැඳියක් ඊ-තැපෑල මඟින් ලබාදෙන අතර එය භාවිත කරමින් සංගණන තොරතුරු සෘජුවම මාර්ගගතව ලබාදිය හැකිය.

Press Note_Sinhala (1) by poornima