දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල කේබල් කැපූ දෙදෙනෙකු අත්අඩංගුවට
June 14, 2026 07:51 am
දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල ඇති කේබල් කපා සොරකම් කිරීමක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (13) දින රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකර ඇති වැටලීමක් අනුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 700ක්ද පොලීසිය විසින් සොයාගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධව සිදුකළ විමර්ශනයේදී මොවුන් විසින් රුපියල් 922,750/-ක් පමණ වටිනාකමින් යුත් කේබල් කපා සොරකම් කර ඇති බවට අනාවරණය වී තිබේ.
සැකකරුවන් අවුරුදු 27 හා 34 ක් වන රතුපස්වල හා කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ කරුණු මත සොරකම් කරන ලද කේබල් කොටස් තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන රාගම පොලීසිය විසින් සිදුකරති.
මේ අතර දුරකථන රැහැන් කපා සොරකම් කිරීම ඇතුළු දේපල සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍යව කර සිටි සැකකරුවෙකුද මොරටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොරටුව පොලිස් වසමේ අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැක කටයුතු පුද්ගලයෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධව සිදුකළ විමර්ශනයේදී මොරටුව පොලිස් වසමේදී රුපියල් 180,000ක් පමණ වටිනාකමකින් යුතු දුරකථන රැහැන් කපා සොරකම් කිරීම්, ගෙවල් බිඳ දේපල සොරකම් කිරීම පිළිබඳව කරුණු රැසක් අනාවරණය වී තිබේ.
පොලීසිය පැවසුවේ සැකකරු අවුරුදු 51ක් වූ රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවය.
සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත සොරකම් කරන ලද රූපවාහිනියක් හා තඹ කම්බි කොටස් තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන මොරටුව පොලීසිය විසින් සිදුකරති.
