උත්තරීතර මව්පිය පදවියට සැරසෙන ඔබට විශේෂ දැනුම්වත් කිරීමක්
June 7, 2026 02:28 pm
ගර්භණී සමයේදී මවක් ගන්නා මධ්‍යසාර ප්‍රමාණය දරුවාගේ සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන දශක පහකට වැඩි කාලයක සිට වෛද්‍යවරුන් අනතුරු අඟවා තිබේ.
සතියකට මධ්‍යසාර වීදුරුවක් වැනි සුළු ප්‍රමාණයක් ගැනීම පවා දරුවාගේ මොළයේ වර්ධනයට, බුද්ධි වර්ධනයට සහ මුහුණේ හැඩයට බලපෑම් කළ හැකි බව මෑතකාලීන පර්යේෂණවලින් ද තහවුරු වී ඇත.
එබැවින් ගැබිනි මවකට මධ්‍යසාර භාවිතය සඳහා "ආරක්ෂිත මාත්‍රාවක්" නොමැති බව පොදු පිළිගැනීම වේ.
කෙසේ වෙතත්, මේ තාක්කල් මව වෙත පමණක් යොමුව තිබූ අවධානය වෙනස් කරමින්, අලුත්ම විද්‍යාත්මක පර්යේෂණ පෙන්වා දෙන්නේ දරුවෙකු පිළිසිඳ ගැනීමට පෙර පියා විසින් ගනු ලබන මධ්‍යසාර ප්‍රමාණය ද දරුවාගේ විකෘතිතා සහ වර්ධන ඌනතාවලට සෘජුවම බලපාන බවය.
චීනයේ ලක්ෂ 5ක් ඇසුරින් 2021දී කළ නිරීක්ෂණ අධ්‍යයනයකින් හෙළි වූයේ, මව මධ්‍යසාර නොගත්තද, දරුවෙකු පිළිසිඳ ගැනීමට පෙර පියා ද මධ්‍යසාර ගෙන තිබුනේ නම් දරුවන්ට තොල් සහ උඩුතාලය පැලීම (Cleft palate), සහජ හෘද රෝග සහ ආහාර ජීර්ණ පද්ධතියේ විකෘතිතා ඇතිවීමේ අවදානම ඉහළ යන බවය.
පිළිසිඳ ගැනීමට පෙර මාස 3 තුළ දිනකට මධ්‍යසාර මිලිලීටර් 50කට වඩා ගත් පියවරුන්ගේ දරුවන්ට හෘද රෝග වැළඳීමේ ප්‍රවණතාව 3 ගුණයකින් වැඩි වී තිබූ බව සඳහන් වේ.
මීයන් ඇසුරින් කළ පරීක්ෂණවලින් තහවුරු වූ සාක්ෂි
මිනිස් ජීවිත ආශ්‍රිතව පරීක්ෂණ පැවැත්වීමේ ඇති අපහසුතාවය නිසා පර්යේෂකයන් විසින් මේ සඳහා මීයන් යොදාගෙන පරීක්ෂණ පවත්වන ලදී.
එහිදී ලැබුණු ප්‍රතිඵල,
මුහුණේ හැඩය වෙනස් වීම - පිරිමි සත්වයා පමණක් මධ්‍යසාර ගෙන තිබූ අවස්ථාවලදී උපන් මී පැටවුන්ගේ හකු, දත් පිහිටීම සහ ඇස් කුඩා වීම (FASD ලක්ෂණ) වඩාත් කැපී පෙනෙන ලෙස විකෘති වී තිබුණි.
කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෙලී හෆ්මන් (Kelly Huffman) කළ පර්යේෂණයකදී හෙළ වී ඇත්තේ මධ්‍යසාර ගත් පිරිමි සතුන්ගේ පැටවුන්ගේ මොළයේ සෛල පිහිටීම සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවය.
එම පැටවුන්ගේ ඉගෙනීමේ හැකියාව සහ ශාරීරික සමතුලිතතාවය පවත්වා ගැනීමේ හැකියාව බිඳ වැටී තිබු බව සඳහන් වේ.
2024 ජූලි මාසයේ පළ වූ අධ්‍යයනයකට අනුව, දෙමාපියන් දෙදෙනාම හෝ පියා පමණක් මධ්‍යසාර භාවිත කර තිබූ විට උපදින දරුවන්ගේ මොළයේ සහ අක්මාවේ සෛල වේගයෙන් වයස්ගත වන අතර මයිටොකොන්ඩ්‍රියා අක්‍රිය වීම් සිදුවේ.
මෙය සිදුවන්නේ කෙසේද? (Epigenetics තාක්ෂණය)
දරුවා කුස තුළ සිටින විට පියාගේ මධ්‍යසාර ශරීරගත නොවන නමුත්, පියා බොන මධ්‍යසාර නිසා ඔහුගේ ශුක්‍රාණුවල ඇති ජාන ක්‍රියාකාරීත්වය (DNA Methylation) වෙනස් වේ.
ජානවල ස්වරූපය වෙනස් නොවුණත්, එම ජාන ක්‍රියාත්මක වන සහ අක්‍රිය වන ආකාරය මධ්‍යසාර නිසා වෙනස් වී, එය කලලයේ වර්ධනයට බලපායි. මෙය දුම්පානය කරන පියවරුන්ගේ දරුවන්ට ලියුකේමියාව වැනි රෝග වැළඳීමේ ප්රවණතාවට සමාන තත්ත්වයකි.
සෞඛ්‍ය අංශවල උපදෙස්
කෙසේ වෙතත්, පර්යේෂකයන් පවසන්නේ පියාට වඩා මව ගන්නා මධ්‍යසාර වැදෑමහ හරහා සෘජුවම කලලයට යන බැවින් මවගේ බලපෑම තවමත් ඉහළම මට්ටමක පවතින බවය.
නමුත්, සෞඛ්‍ය ප්‍රචාරණ වැඩසටහන් මඟින් මින් ඉදිරියට මව්වරුන්ට මෙන්ම පියවරුන්ටද උපදෙස් දිය යුතුය. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එළිසබෙත් එලියට් පවසා ඇත්තේ ගැබිනි මවක් මධ්‍යසාර ගැනීමට පෙළඹෙන ප්‍රධානතම හේතුවක් වන්නේ ඇයගේ සහකරු මධ්‍යසාර භාවිත කිරීම බැවිනි.
එබැවින් පිරිමින් පාලනය වීමෙන් මව සහ දරුවා දෙදෙනාම ආරක්ෂා වෙනවා" යනුවෙනි.
දරුවෙකු අපේක්ෂා කරන පියෙකුට ආරක්ෂිත මධ්‍යසාර ප්‍රමාණය කොපමණද යන්නට තවමත් ස්ථිර දත්ත නැතත්, පර්යේෂක මයිකල් ගෝල්ඩින් පවසන්නේ, "මගේ පුතුන් ඉන්නවා නම් මම ඔවුන්ට කියන්නේ දරුවෙක් හදන්න හිතනවා නම් බොන එක සම්පූර්ණයෙන්ම නතර කරන්න කියලයි."
දරුවෙකු මෙලොවට බිහි කිරීමේදී සමස්ත බර සහ වගකීම කාන්තාව මත පමණක් පැටවීම අසාධාරණ වන අතර, සෞඛ්‍යමත් දරුවෙකු වෙනුවෙන් පියාගේ සෞඛ්‍යයද එකසේ වැදගත් වන බව වෛද්‍ය ලෝකය දැන් තහවුරු කර ඇත.
