SLFP සාමාජිකයින් පිරිසක්  මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

SLFP සාමාජිකයින් පිරිසක් මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

January 9, 2026   06:39 pm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් පිරිසක් අද (09) මහනුවර සංචාරක නිරත විය.

ඔවුන් ප්‍රථමයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස් වැඳපුදා ගෙන තිබේ.

අනතුරුව ඔවුන් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් මෙන්ම අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබා ගෙන තිබේ.

එහිදී රටෙහි වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව  මහ නාහිමිවරු දැනුවත් කළ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් පිරිස සිය පක්ෂයේ  ඉදිරි දේශපාලන ගමන් මග පිළිබඳව ද නාහිමිවරු දැනුවත් කර තිබේ.

නව වසර සඳහා සිය පක්ෂයට ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණින් මෙම පිරිස මෙලෙස මහනුවර සංචාරයේ නිරත වී ඇත.

මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ වාද භේද සියල්ල පසෙකලා සියල්ලන්ම ඒකරාශී කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට මෙම වසරේ දී බලාපොරොත්තු වන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,

''අද දින අපි මහා නායක ස්වාමීන්වහන්සේ බැහැ දැකීමට පැමිණියේ නව වසරට උන්වහන්සේලාගෙන් අපේ පක්ෂයට ආශිර්වාද ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්.අපිට ඒ ආශිර්වාදය ලැබුණා. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාද, භේද දුර්වල වෙලා හැමෝම ඒකරාශී කරගෙන ඉදිරියට ගමන් කිරීමට මේ අවුරුද්දේදී බලාපොරොත්තු වෙමින්, පාර්ලිමේන්තුව තුළ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන තරුණ මන්ත්‍රීවරයෙක් වන චාමර සම්පත් දසනායක මැතිතුමාට පක්ෂයේ ජාතික සංවිධායක ධූරය අපි පිරිනමලා තියෙනවා.''

එමෙන්ම මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහන් කළේ ජනතාව විසින්ම මෙම ආණ්ඩුව නෙරපා හරින දිනය වැඩි ඈතක නොවන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා

''ජාතික සංවිධායක කියන්නේ මේ ජාතික සංවිධායක ධූරය ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය බැබලුවේ කොයි කාලෙද? ඕගොල්ලොන්ගේ නායකයා. අනූ හතරේ ආණ්ඩුව ගත්තේත් අනුරුද්ධ රත්වත්තේ. ජාතික සංවිධායක, ශ් රී ලංකා නිදහස් පක්ෂය.. අනුරුද්ධ රත්වත්තේ මහත්තයාගේ මේ තමයි මේ තනතුර. ඉතින් ඒ තනතුර දීලා තියෙනවා.වැටුනම නැගිටින්න ටිකක් අමාරුයි. මම වගේ මිනිහෙකුට....... හැබැයි ආයේ නැගිට්ටොත් වට්ටන්නත් බැහැ. ඒ නිසා අපි තෝර තෝර ඉන්න බැහැනේ. මිනිස්සු වඩාගෙන එන්නත් බැහැනේ පක්ෂ හදන්න. දැන් වඩාගෙන ඇවිල්ලා කරන්න බැහැ මේ වැඩේ. අපි දැන් ඉන්නේ කීදෙනාද පටන් ගත්තා වැඩේ කරනවා. ඒ නිසා කවුරු ආවත් මට මේ වැඩේ භාරදීලා තියෙනවා. තව මාස හයකින් බලන්න. චාමර සම්පත් මොකක්ද කරන්නේ? අපි පාර්ලිමේන්තුවේ ශ් රී ලංකා නිදහස් පක්ෂයේ හඬ හරියටම දෙනවානේ තනියෙන් හරි''