ගැඹුරු පීඩන අවපාතය මඩකලපුවට කිලෝමීටර් 150ක් දුරින් - ගමනත් හෙමින්

ගැඹුරු පීඩන අවපාතය මඩකලපුවට කිලෝමීටර් 150ක් දුරින් - ගමනත් හෙමින්

January 9, 2026   05:57 pm

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) ප.ව 3.30 වන විට මඩකලපුව සිට කිලෝමීටර් 150ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා ඇත.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද දවස 4.30ට නිකුත් කළ නිවේදනයට අනුව ඉදිරි පැය 24 දක්වා කාලය සඳහා ගැඹුරු පීඩන අවපාතය පිළිබඳ අනතුරු අඟවා තිබේ.

ඒ අනුව ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් හෙට (10) සවස් කාලයේ දී ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක මහතා සඳහන් කළේ, ගැඹුරු පීඩන අවපාතයේ වේගය ඉතාම අඩු බවත් අද දිනයේ දී ලංකාවට ඇතුළු වේයැයි පුරෝකථනය කළ ද එය වෙනස් වී ඇති බවය.