අල්ලස් ගත් තාක්ෂණික නිලධාරි‍යා  ජනවාරි 23 දක්වා රිමාන්ඩ්

අල්ලස් ගත් තාක්ෂණික නිලධාරි‍යා ජනවාරි 23 දක්වා රිමාන්ඩ්

January 8, 2026   06:42 pm

වත්තල ප්‍රාදේශීය සභාවේ වැලිසර උපකාර්යාලයේ තාක්ෂණික නිලධාරියෙකු ජනවාරි 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (08) නියෝග කර තිබේ.

ඒ ගොඩනැගිලි සැලැස්මක් අනුමත කර ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද සැලසුමේ අඩුපාඩු නොසලකා හැර එය අනුමත කර දීමට අවශ්‍ය කටයුතු සිදු කරදීමට අල්ලස් වශයෙන් රුපියල් 50,000ක මුදලක් ඉල්ලා ලබාගත් බව කියන සිද්ධියකට අදාළව ය.

අල්ලස් කොමිසම විසින් සිද්ධියට අදාළ සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.

රාගම ප්‍රදේශයේ පුද්ගලයකු කරන ලද පැමිණිල්ලකට අනුව වැටලීමක් සිදු කර සැකකරු අත්අඩංගුවට ගත් බව ‍අල්ලස් කොමිසම සඳහන් කළේය.

පැමිණිලිකරුට අයත් වැලිසර පිහිටි ගොඩනැගිල්ලක සැලැස්මේ අඩුපාඩු පෙන්වා ඇති සැකකරු එම අඩුපාඩු නොසලකා සැලැස්ම අනුමත කරදීම සඳහා පැමිණිලිකරුගෙන් මෙම මුදල ඉල්ලා ලබා ගනිද්දි ඊයේ (07) පස්වරු 3.50ට පමණ වත්තල ප්‍රාදේශීය සභාවේ වැලිසර උප කාර්යාලයේ දී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත.