මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ  ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

December 19, 2025   06:43 pm

මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා ද දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව මෙම නිවේදනය හෙට (20) පස්වරු 5.30 දක්වා බලපැවැත්වෙන බව සඳහන් වේ.

මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ලැබුණු වර්ෂාව හා මහවැලි නිම්නයේ ඉහළ පිහිටි ජලාශවලින් නිකුත් කරනු ලබන ජලය හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ඊයේ (18) නිවේදනය කර තිබුණි.

ඒ අනුව කින්නියා, මුතුර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් ප්‍රදේශවල සිටින පිරිසට විශේෂයෙන්ම අවදානයෙන් සිටින ලෙස දැනුම් දී ඇත.

එමෙන්ම මඩකලපුව - පොළොන්නරුව මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන්ද, සෝමාවතී රාජමහා විහාරයට යන ප්‍රවේශ මාර්ගය සහ සෝමාවතී රජමහා විහාරය අවට ප්‍රදේශය ද ගංවතුරින් යටවීමේ අවදානමක්ද පවතින බව සඳහන් වේ.

එබැවින්, ඉදිරි දින කිහිපය පසුවන තෙක් සෝමාවතී රාජමහා විහාරය වෙත ගමන් කරන බැතිමතුන්ද, එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව වාසය කරන මහජනතාවගෙන් ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසු වන ලෙසත්, ඇති විය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇත.