දකුණු ආසියාවේ පළමු රෙගේ ප්‍රසංගය එළැඹෙන වසරේදී බෙන්තොටදී

දකුණු ආසියාවේ පළමු රෙගේ ප්‍රසංගය එළැඹෙන වසරේදී බෙන්තොටදී

December 19, 2025   08:07 pm

පෙබරවාරි 6 වැනි දිනට යෙදී ඇති බොබ් මාලේගේ 81 වන උපන් දින සැමරුමට සමගාමීව පවත්වනු ලබන දකුණු ආසියාවේ ප්‍රථම රෙගේ සංගීත ප්‍රසංගය වන ‘’ONE LOVE 2026 – A Tribute to Bob Marley” ප්‍රසංගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව එළැඹෙන 2026 වසරේ මාර්තු 27 සිට 29 දක්වා පුරා දින තුනක් සවස 6 සිට මෙම ප්‍රසංගය බෙන්තොට වෙරළ තීරයේදී පැවැතවීමට කටයුතු යොදා ඇත.

මේ පිළිබඳව දැනුවත් කිරීමක් පසුගියදා කොළඹදී පැවැත් විය.

මෙම ප්‍රසංගය සඳහා ජාත්‍යන්තර කීර්තියට පත් රෙගේ නිර්මාතෘගේ පුතනුවන් වන Julian Marley, Ky-Mani Marley, සහ  Maxi Priest – The “Prince of Reggae”, The Wailers, Inner Circle, Big Mountain යන ජාත්‍යන්තර රෙගේ කලාකරුවන් 6 දෙනෙකු සහභාගී වීමට නියමිතය.

මීට අමතරව ජාත්‍යන්තර සංගීත ශිල්පීන් 4 දෙනෙකුද මේ සඳහා සහභාගී වනු ඇති බව සංවිධායක මණ්ඩලය පවසයි. 

ඒ අනුව මාර්තු 27 - The Wailers සහ Maxi Priest, මාර්තු 28 - Inner Circle සහ Big Mountain, මාර්තු 29 - Julian Marley සහ Ky-Mani Marley ලෙස කලාකරුවන් ප්‍රසංගය සඳහා සහභාගී වීමට නියමිතය.

මෙම ප්‍රසංගය තුළින් රෙගේ සංගීතයට ප්‍රිය කරන ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය යන රටවල සංචාරකයින් සහ බටහිර සංචාරකයින් ඇතුළු දහස් ගණනක ශ්‍රී ලාංකේය රසිකයින් මෙරටට පැමිණෙනු ඇතැයිද ඔවුන් අපේක්ෂා කරයි.

යුරෝපයේ සහ කොළඹ මූලස්ථානය පිහිටා ඇති ශ්‍රී ලංකාවට අයත් One In A Million Entertainment Ltd. විසින් Caribbean Entertainment හි සහයෝගය ඇතිව සංවිධානය කරනු ලබන මෙම ප්‍රසංගය Shaggy, Diana King, Maxi Priest, සහ Big Mountain වැනි ගෝලීය කලාකරුවන් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසද සඳහන් කළ හැකිය.

එමෙන්ම මෙම අවස්ථාවට තවත් ආකර්ෂණයක් එක් කරමින් 2024 සංගීතමය නාට්‍යයේ ප්‍රධාන නළුවා ලෙස කටයුතු කළ Kingsley Ben-Adir සහ එහි අධ්‍යක්ෂ Reinaldo Marcus Green ද එක්වීමට නියමිතය.

මෙම ප්‍රසංගය සඳහා දිනකට රු. 10,000ක මුදලකට සාමාන්‍ය ටිකට්පතක්ද VIP ටිකට්පතක් රු. 50,000කට අලෙවි කිරීමට නියමිත අතර මීට අමතරව දින 3හිම සංගීත ප්‍රසංග රසවිඳීමට කැමති රෙගේ සංගීත ලෝලීන්ට ඒ සඳහා සාමාන්‍ය ටිකට්පත් රු. 25,000කටත්, VIP ටිකට්පත් රු. 100,000ටත් ලබා ගැනීමේ විශේෂ අවස්ථාවද උදා කර දී තිබේ. 

මෙම ප්‍රසංගය සඳහා වන ටිකට්පත් අලෙවිය තුලින් ලැබෙන ආදායමෙන් කොටසක් ශ්‍රී ලංකා ඉන්දියානු සංස්කෘතික සංගමය විසින් පවත්වාගෙන යන ළමා නිවාසයන්හි ජල පවිත්‍රකරණ ව්‍යාපෘතියට පරිත්‍යාග කිරීමට නියමිත අතර  One Love Festival ජැමෙයිකාවේ පුණ්‍ය කටයුතු සඳහා සහාය වීමේ අරමුණින් Bob and Rita Marley පදනම සමඟද කටයුතු කරනු ඇත.