මතභේදයක් ඇති කළ ඔන්ඩැන්සෙට්‍රෝන්  එන්නත ගැන තවත් හෙළිදරව්වක්

මතභේදයක් ඇති කළ ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ගැන තවත් හෙළිදරව්වක්

December 19, 2025   02:30 pm

මතභේදයට තුඩු දී ඇති ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ලබාදුන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝගීන් කිහිපදෙනෙකුට ද සංකූලතා මතුවී ඇතැයි තොරතුරු ලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (19) අනාවරණ කළේය.

එම සංගමය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් පැවසුවේ අදාළ එන්නත මෙරටට ගෙන්වීමේදී සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට පැවරෙන වගකීමෙන් කිසිලෙසකින්වත් ඔවුන්ට නිදහස් විය නොහැකි බවය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ වෛද්‍ය සැපයුම් අංශයේ වෙබ් අඩවියටම අනුව මෙම වසරේ දී පමණක් මෙවැනි කොලිටි ෆේලියර්ස් පර්යේෂණාත්මකව තහවුරු වුණු අවස්ථා අනූවකට ආසන්න ප්‍රමානයක් ඇති බවය. 

ඔන්ඩැන්සෙට්‍රෝන් නැමති ඖෂධය තුළ බැක්ටීරියාවක් අන්තර්ගත වීම ඉන් ආසන්නතම සිදුවීම වන බවද වෛද්‍යවරයා පැවසීය. 

එමෙන්ම අදාළ සමාගමේ තවත් ඖෂධ නමයක් මේ වෙනකොට අත්හිටුවා ඇති බවත් එය බරපතළ කාරණයක් වන බවත් ඔහු මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා

''හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ මේ අදාළ සමාගමෙන් දිගින් දිගටම මෙහෙම ආනයනය කරන ඖෂධ සම්බන්ධයෙන් පැමිණිලි එනකොට මේ ගැන ගත්තු තීන්දු තීරණ මොනවද? තැන් තැන්වල දේශපාලඥයින්ගේ, සහෝදර සහෝදරියන්ගේ නම් ගෑවෙනවා. ඖෂධ මාෆියාව ගැන කතා කරනකොට මේක මේ අර වගේ හැමතැනම තමන්ගේ අඩු විහිදගෙන ඉන්න ක්ෂේත්‍රයක්. ඒක නෑ කියන්න බෑ. සමහරු මේක ඇතුළට එන්නේ අර මීයක් කඩන්නේ අත ලෙවකන්න බලාගෙන නෙමෙයි. දැන් මේ මොහොතේදීත් අපි දකින්නේ අර ඉතිහාසය පුරාම අවුරුදු හැත්තෑ හයක් පුරා සිද්ධ වෙච්ච දේ. මේ හැත්තෑ හත්වෙනි අවුරුද්දෙත් ආයි ඒ විදිහටම සිද්ධ වෙනවා. එතකොට එතනදි කවුරුහරි කියනවා නම් මේක අහවල් නිලධාරියා තමයි මේකට වගකියන්න ඕනේ. එහෙම මේවයින් මිදිලා යන්න බැහැ.''