GovPay ඩිජිටල් ගනුදෙනු රුපියල් බිලියන 2 පසු කරයි
December 19, 2025 11:15 am
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව වන GovPay, 2025 වසර නිමාවට පත් වනවිට රුපියල් බිලියන 2ක සමස්ත ගනුදෙනු වටිනාකම ඉක්මවා ගොස් තිබේ.
මෙය තවත් සුවිශේෂී වී ඇත්තේ අවසන් රුපියල් බිලියනයක එකතුව දින 45ක් වැනි කෙටි කාලයක් තුළදී වාර්තා වීම බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ නිවේදනය කරයි.
2025 පෙබරවාරි 07 දින ආරම්භ කළ දා සිට මේ දක්වා ඩිජිටල් ගනුදෙනු 69,000කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති අතර රජයේ ආයතන 215කට අයත් රාජ්‍ය සේවාවන් 3,372ක් සඳහා මේ වන විට ගෙවීම් කළ හැකිය.
එසේම 2025 අප්‍රේල් 10 දින හඳුන්වා දුන් මාර්ගගත රථවාහන දඩ ගෙවීමේ ක්‍රමය හරහා ගනුදෙනු 50,000කට අධික සංඛ්‍යාවකින් රුපියල් මිලියන 66කට වැඩි ආදායමක් ද මේ වනවිට උත්පාදනය කර ඇත.
දැනට බස්නාහිර, දකුණ, උතුර, වයඹ සහ උතුරු මැද පළාත්වල මෙන්ම අධිවේගී මාර්ගවලද ක්‍රියාත්මක මෙම රථවාහන දඩ ගෙවීමේ සේවාව, 2026 ජනවාරි මාසයේදී මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් මුළු දිවයින පුරාම ව්‍යාප්ත කිරීමට නියමිතය.
දැනට , උතුරු පළාතේ සියලුම පළාත් පාලන ආයතන සහ දකුණු පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මේ වන විටත් මෙම පද්ධතිය හා සම්බන්ධ වී ඇත.
2026 වසර වන විට දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය කිරීම රජයේ ඉලක්කය වන අතර,කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා පොලීසිය, කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය 2025 වසරේ වැඩිම දායකත්වයක් ලබාදුන් ආයතන අතර වන බවද අමාත්‍යාංශය නිවේදනය කරයි.
මීට අමතරව, 2025 නොවැම්බර් මස ඇති වූ ආපදා තත්ත්වයන් හමුවේ 'ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ ආපදා සහන අරමුදල' (Rebuild Sri Lanka Disaster Relief Fund) සඳහා රුපියල් මිලියන 14කට ආසන්න මුදලක් රැස් කිරීමටද මෙම GovPay වේදිකාව දායක වී තිබේ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ ලංකාපේ (LankaPay) එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය, 2030 වසර වන විට අමෙරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ ප්‍රධාන සන්ධිස්ථානයක් බවද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.
