ආපදා හමුවේ ගොවිබිම් දහස් ගණනක් විනාශයි - ගොවින්ගෙන් බලධාරීන්ට චෝදනා
December 15, 2025 01:44 pm
ආපදා හමුවේ විශාල වශයෙන් විනාශ වූ ගොවි බිම් යළි සැකසීම අද වනවිට ගොවිජනතාවට විශාල අභියෝගයක් වී තිබේ.
සති කිහිපයකට පෙර පැවති අයහපත් කාලගුණික තත්ත්වය සමඟ අඹන්ගඟ පිටාර ගැලීමෙන් වගාබිම් රැසක් විනාශයට පත්වුණි.
මේ හේතුවෙන් දිග්ගල්පිටිය, අන්ගම්මෙඩිල්ල, කලාගල, පරාක්‍රම සමුද්‍ර, දකුණු ඉවුර යන ප්‍රදේශවල කුඹුරු අක්කර දහසකට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවී විනාශ වී තිබේ.
ගොවීන් පවසන්නේ, විනාශවූ වගාබිම් පරීක්ෂා කිරීමට කිසිදු බලධාරියෙක් මෙතෙක් නොපැමිණි බවයි.
එහිදී ගොවීන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළේය.
"අක්කර දහස් ගාණක් එක දිගටම මේ ගං වතුරෙන් කඩා ගෙන ගියා. මහවැලි ගඟේ වැලි ගොඩ දානවට වඩා වැලි තියෙනවා. මේවා අතින් අදින්න බෑ. නමුත් දැන් බලන්න එන කෙනෙක් නෑ"
මේ අතර, මහවැසි හේතුවෙන් නැගෙනහිර පළාතේ කුඹුරුවලට ද විශාල වශයෙන් බලපෑමක් එල්ල වී තිබේ.
අම්පාර දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුරු අක්කර 1888කට පමණ ආපදා හමුවේ හානි සිදුව ඇති බව 'අද දෙරණ' වාර්තා සඳහන් කරයි.
"කුඹුරු කරගන්න බැරි තත්ත්වෙකට කුඹුරු කැඩිලා, බිඳිලා, හෑරිලා වැලි පිරිලා තියෙන්නේ "
"රජයෙන් වාහන දීලා මේ වැලි එක තැනකට ගොඩ කරලා අපිට මේ බිම නැවත වගාකර ගැනීමට පුළුවන් බිමක් ලෙස සකසා දෙන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිනවා"
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බහුතර ජනතාව කෘෂිකර්මාන්තයෙන් සිය ජීවිකාව පවත්වා ගැනීමට උපකාරී වන මුරපොළ මහාවාරි ව්‍යාපෘතිය ද විනාශ වී ඇත.
ගොවි ජනපද 13ක යලමහ යන කන්න දෙකම සරුසාර කළ මෙම වාරි ව්‍යාපෘතිය මුළුමනින්ම විනාශවීමෙන් ගොවි ජනතාව විශාල ගැටලුවකට පත්ව සිටින් බව සඳහන් වෙයි.
