ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

December 15, 2025   06:18 pm

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (15) පෙරවරුවේ පවත්වා තිබුණි.

ජාතික ආපදා කළමනාකරණ ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීම සහ 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත සංශෝධනය කිරීමට අදාළ පත්‍රිකාව සභාගත කිරීමද මෙහිදී සිදුව තිබේ. 

බහු-පාර්ශ්වික ප්‍රවේශයක් තුළින් වතු ප්‍රදේශවල නාය යෑම් අවදානම අවම කිරීම සඳහා NBRO විසින් අදාළ පාර්ශ්වකරුවන්, වතු හිමියන් සහ පළාත් පාලන ආයතන අතර සම්බන්ධීකරණයෙන් ජලාපවහන පද්ධතිය ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය ඇතුළු ක්‍රියාකාරිත්වයන් සඳහා නිර්දේශ ලබාදීම සහ සහතික කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇත.

එමෙන්ම, මධ්‍යම අධිසංවේදී කලාප (Central Fragile Area) කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමට අදාළව තාක්ෂණික කණ්ඩායම් පිහිටුවීම සහ අදාළ සියලු ආයතනවල තොරතුරු ඒකාබද්ධ කරගත් සැලැස්මක් සකස් කිරීමටත්, එම දත්තවලට සියලු ආයතනවලට ප්‍රවේශ විය හැකි ආකාරයේ ඒකාබද්ධ ඩිජිටල් වේදිකාවක් සකස් කිරීම පිළිබඳවත් එහිදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

විනිවිදභාවය තහවුරු කරමින් ලැබෙන සියලුම විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණයට අදාළව විදේශ සහනාධාර සම්බන්ධීකරණය සඳහා වන කමිටුව ස්ථාපිත කිරීම සඳහා අනුමැතිය ලබාදීම සහ ඊට අදාළ බලතල පැවරීම පිළිබඳවද සාකච්ඡා කර ඇත.

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව වසර 07කට පසුව පසුගිය අගෝස්තු 07 වන දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර,  හදිසි ආපදා තත්ත්වය සමඟ නොවැම්බර් 27 වන දා රාත්‍රියේ නැවත රැස්ව තිබුනි.

දිට්වා සුළි කුණාටුවෙන් පසු ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම  වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගනිමින් ආයතනික මඟපෙන්වීම වෙනුවෙන් එය අද මෙලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් ව ඇත.

දිවයින පුරා පුද්ගලයන් මිලියන 2.2ක් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක්ව සිටින අතර පූර්ණ නිවාස හානි 6,164ක් සහ අර්ධ නිවාස හානි 112,110ක් සිදුව තිබේ.

ඒ අනුව සුරක්ෂිත මධ්‍යස්ථාන 796ක, පුද්ගලයන් 72,911ක්  (2025.12.14)  රැඳී සිටින බව ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සඳහන් කර තිබේ.

එම ජනතාවට සහන සැලසීම, යළි පදිංචි කිරීම සහ ජීවනෝපාය මාර්ග  යළි ගොඩනඟමින් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

මධ්‍යම කඳුකරය රැක ගැනීම සඳහා ස්ථීර විසඳුමක් සෙවීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට අවදානම් කලාපයේ පවතින නිවාස 15,000ක් හඳුනාගෙන තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, 2026 වසර අවසන් වන විට එම ජනතාව වෙනුවෙන් ඉදිවන නිවාස 8,000ක කටයුතු සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

ගංවතුරට හසු වූ නිවාස පවිත්‍ර කර ගැනීම සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 25,000ක දීමනාව ලබා දීමේදී මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර එම ගැටලු විසඳා ගනිමින් මෙම සතිය තුළ අදාළ මුදල් ගෙවා අවසන් කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දත්ත රැස් කිරීමේදී සහ යාවත්කාලීන කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව  විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර එම කටයුතු සඳහා විධිමත් ක්‍රියාවලියක අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු විය. ඒ වෙනුවෙන් නීති සම්පාදනයේ අවශ්‍යතාව මෙන්ම, ප්‍රායෝගික වැඩපිළිවෙළක් තුළින් ඉදිරි වසර 03 තුළදී එම ගැටලුව සඳහා විසඳුම් සෙවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

2016 වසරේ සිදු වූ ගංවතුර හේතුවෙන් හානි පූර්ණය සඳහා රුපියල් බිලියන 7.51ක් ජනතාවට ලබා දුන් නමුත්, ප්‍රතිරක්ෂණ ප්‍රතිසාධනය සිදුව ඇත්තේ රුපියල් බිලියන 1.42ක් බැවින්, එහිදී රජයට රුපියල් බිලියන 5.79ක  පාඩුවක් සිදුව ඇති බව මුදල් අමාත්‍යාංශය  හදුනාගෙන තිබෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙහිදි අනාවරණය කළේය. 

එම රක්ෂණ ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යන්නේ නම් එය රජයට වාසි සහගත සහ ප්‍රතිලාභීන්ගේ ආරක්ෂාව උපරිමයෙන් සැලසෙන පරිදි වන රක්ෂණ ක්‍රමයක් විය යුතු බවත්, එය නැවතත් ආරම්භ කරන්නේ නම් විශේෂඥ උපදෙස් ලබාගෙන එහි අත්‍යවශ්‍ය සංශෝධන සිදු කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.