ජපානයෙන් තවත් විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

ජපානයෙන් තවත් විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

December 4, 2025   03:12 pm

ආපදාවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් වූ සිය අඛණ්ඩ සහාය පිළිබිඹු කරමින්  27 දෙනෙකුගෙන් යුත් තවත් ජපාන ආපදා සහන (JDR) වෛද්‍ය කණ්ඩායමක් ඊයේ (03) රාත්‍රීයේ මෙරටට පැමිණ තිබේ.

වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, සහන නිලධාරීන් සහ ගලවා ගැනීමේ විශේෂඥයන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම ජාතික ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින්, බිම් මට්ටමේ අත්‍යවශ්‍ය වෛද්‍ය සහයෝගයන් ලබා දීමටත්, සහන මෙහෙයුම් ශක්තිමත් කිරීමටත්, ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය සේවා දැඩි ලෙස අඩාල වූ ප්‍රදේශවලට සහාය වීමටත් කටයුතු කරනු ඇත.

කණ්ඩායමේ ප්‍රධානී කිචිරෝ ඉවාසෙ මහතා ඇතුළු මෙම ජපාන නියෝජිත කණ්ඩායම, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියා සහ ඕෂනියා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්කේ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු විසින් නිල වශයෙන් පිළිගනු ලැබීය. 

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසෝමාටා අකීයෝ මහතාද සහභාගී විය.

මේ අතර ශ්‍රි ලංකාවේ ආපදා සහන කටයුතු වෙනුවෙන් මීට පෙරද 4 දෙනෙකුගෙන් සමන්විත ජපාන ආපදා සහාන වෛද්‍ය කණ්ඩායමක් මෙරටට පැමිණි අතර ඒ අනුව මේ වන විට 31 දෙනෙකුගෙන් යුත් ජපාන වෛද්‍ය කණ්ඩායමක් මෙරට මානූෂීය සහන සේවා කටයුතුවල නිරතව සිටිති.