ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් තවත් සහන ආධාර රැසක්

ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් තවත් සහන ආධාර රැසක්

December 4, 2025   12:56 pm

ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළට අඛණ්ඩ සහාය පළ කරමින්, ඉන්දියාවේ මානුෂීය ආධාර රැගත් C-17 ගුවන් යානය ඊයේ (03) පස්වරුවේ මෙරටට ළඟව තිබුණි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්  සන්තෝෂ් ජා මහතා විසින් මෙම සහනාධාර නිල වශයෙන් ශ්‍රී ලංකාව වෙත භාර දෙනු ලැබූ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) හිටපු අධ්‍යක්ෂ (හදිසි මෙහෙයුම්) දැනට විශ්‍රාම ගැනීමෙන් පසු ස්වේච්ඡාවෙන් සේවයේ නිරත සුනිල් ජයවීර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (හදිසි මෙහෙයුම්) ඉන්දික පුෂ්පකුමාර  සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩයනා පෙරේරා යන මහත්ම මහත්මීහු විසින් එය භාර ගනු ලැබීය. 

පීඩාවට පත් ප්‍රදේශවල මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය වෙනුවෙන් යකඩ බේලී පාලම් ටොන් 50ක්, පීඩාවට පත් ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත පානීය ජලය සහතික කිරීම සඳහා එක් යන්ත්‍රයකින් ජලය ලීටර් 20ක් පිරිපහදු කළ හැකි ජල පිරිපහදු යන්ත්‍ර 500ක් සහ අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මීට ඇතුළත් විය.

මේ අතර, හදිසි සහන ද්‍රව්‍ය සහ සෝදිසි හා ගලවා ගැනීමේ කණ්ඩායමක් රැගත් පාකිස්තාන ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානය ඊයේ (03) පස්වරුවේ මෙරටට ළඟා විය.

කොළඹ සිටින පාකිස්තාන මහ කොමසාරිස්වරයා විසින් එම සහනාධාර තොගය ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාර දෙනු ලැබු අතර නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිට තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් මහතාගේ උපදෙස් මත පාකිස්තාන හමුදා සෝදිසි හා ගලවා ගැනීමේ ඒකකයේ සාමාජිකයෝ 47 දෙනෙකු සහ අත්‍යවශ්‍ය උපකරණ මෙට්‍රික් ටොන් 6.5ක්  මෙරටට එවා තිබේ.

කූඩාරම් , බ්ලැන්කට්, බ්ලැන්කට් ඇතිරිලි, ජීවිතාරක්ෂක ජැකට්, පිම්බෙන බෝට්ටු, ජලය ඉවත් කරන පොම්ප, ලාම්පු, පැදුරු, මදුරු දැල්, ළඳරු කිරිපිටි, කෑමට සූදානම් ආහාර සහ අත්‍යවශ්‍ය ඖෂධ මෙම සහනාධාර තොගයට ඇතුළත් වේ. 

පාකිස්තාන නාවික හමුදාවට අයත් නෞකා සහ හෙලිකොප්ටර් යානා දැනටමත් ශ්‍රී ලංකාවේ සහන මෙහෙයුම්වල නිරතව සිටී. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් මහතා අතර පැවති සාකච්ඡාවලින් පසුව ශ්‍රී ලංකාවට ලබා දෙන මානුෂීය සහනාධාර පුළුල් කිරීමට පාකිස්තානය කටයුතු කර තිබේ.

මානුෂීය සහයෝගය සහ කලාපීය සහයෝගීතාවය සඳහා වන සිය දිගුකාලීන කැපවීමේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක්ම ලබා දීම පාකිස්තානය විසින් අඛණ්ඩව සිදුකරනු ඇති බව මෙමගින් යළිත් අවධාරණය කර ඇත.