අපේ ජනබල පක්ෂය ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණයක්

අපේ ජනබල පක්ෂය ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණයක්

November 7, 2025   06:18 pm

අපේ ජනබල පක්ෂය වත්මන් ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

එම පක්ෂයේ මහ ලේකම් චින්තක වීරකෝන් මහතා ලිපියක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර ඇත.

එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය විසින් ජාතික ජන බලවේගය ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට සිය සම්පූර්ණ සහයෝගය ලබාදීමට තීරණය කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණවලදී එම පක්ෂයේ සහයෝගය ජාතික ජන බලවේගය වෙත ලබාදීමට තීරණය කර ඇත.

තවද වත්මන් ආණ්ඩුව විසින් ගනු ලබන යහපත් තීන්දු තීරණවලදී ඊට සහයෝගය ලබාදීමටත්, ජනාධිපතිවරයා විසින් රට හමුවේ තබන ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී එකී වැඩසටහන් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය උපදේශනය ලබාදීමටත් එම පක්ෂය බලාපොරොත්තු වන බව අදාළ නිවේදනයේ දැක්වේ.

දැනට වත්මන් ආණ්ඩුව විසින් ගෙනයනු ලබන ජාතික කර්ත්‍යවයන් බොහෝමයක් අපේ ජනබල පක්ෂය ඉහළින් අගය කරනු ලබන අතර, අපේකම හා බැදුණු හෙළ සංස්කෘතික දායාදයන් සුරකිමින් බෞද්ධ පරිසරය තුළ සැමවිටම ජීවත්විය හැකි ශ්‍රී ලාංකික ජාතියක් බිහිකිරීමේ ජනාධිපතිවරයාගේ ප්‍රයත්නයට සිය පක්ෂයේ ආශිර්වාදය හිමිවන බව ද අදාළ නිවේදනය මඟින් තහවුරු කර ඇත.