අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතියට බාධාකිරීම වළක්වාලමින් ගම්පොළ ප්‍රාදේශීය ලේකම් වෙත තහනම් නියෝගයක්

අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතියට බාධාකිරීම වළක්වාලමින් ගම්පොළ ප්‍රාදේශීය ලේකම් වෙත තහනම් නියෝගයක්

November 7, 2025   05:55 pm

අම්බුළුවාව ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ කටයුතුවලට අනිසි ලෙස මැදිහත්වීම් සිදුකිරීම හෝ බාධා කිරීම් සිදුකිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද (07) ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත රිට් ආඥාවක් නිකුත් කළේය.

ඊට අමතරව ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය විසින්  රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවටත් එම නියෝගයේ සඳහන් වුණි.

අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ඇම්බර් ඇඩ්වෙන්චර් පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක තීන්දුව දෙමින් අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම නියෝග ප්‍රකාශයට පත් කළේය.

පෙත්සම්කාර සමාගම අභියාචනාධිකරණයට සිය පෙත්සම ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ, අම්බුළුවාව ප්‍රදේශය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සියලු රාජ්‍ය ආයතන අනුමැතිය ලබා දී තිබියදී ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය එම කටයුතුවලට බාධා සිදුකළ බවය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලී සබ්රි මහතා, නඩු විභාගය පැවති අවස්ථාවේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර තිබුණේ අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම නාගරික සංවර්ධන අධිකාරියට අයත් බලප්‍රදේශයක් බවත් ඊට මැදිහත්වීමට ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරියට බලයක් නොමැති බවය.

වගඋත්තරකාර ප්‍රාදේශීය ලේකම්වරිය සිදුකළ බාධා කිරීම් හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය නිසි කාලයට අවසන් කර ගැනීමට නොහැකි වූ බවත් එබැවින් මෙම කටයුතුවලට ප්‍රාදේශීය ලේකම්වරිය අනිසි ලෙස මැදිහත්වීම සහ බාධා කිරීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.