පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයට යන සිසුන්ට තොරතුරු ගන්න ක්ෂණික ඇමතුම් සේවාවක්

පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයට යන සිසුන්ට තොරතුරු ගන්න ක්ෂණික ඇමතුම් සේවාවක්

November 7, 2025   11:37 am

පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයට යොමු වීම සඳහා සිසුන්ට අවශ්‍ය තොරතුරු නිවැරදිව සහ කාර්යක්ෂමව ලබාදීමේ අරමුණින් ‘1966’ වෘත්තීය අධ්‍යාපන ක්ෂණික ඇමතුම් (Hotline) සේවාව හඳුන්වා දී තිබේ.

නාරාහේන්පිට ‘නිපුණතා පියස’ පරිශ්‍රයේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ කර ඇත.

‘1966’ක්ෂණික ඇමතුම් සේවාව මඟින් වෘත්තීය අධ්‍යාපනයට අදාළ ඕනෑ ම තොරතුරක් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම ලබාගත හැකි අතර, තවදුරටත් කාර්යක්ෂම සේවාවක් සඳහා, කෘත්‍රීම බුද්ධි තාක්ෂණය (AI) ඔස්සේ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ තාක්ෂණික නිලධාරීන් විසින් සකස් කරන ලද ‘AI Chat BOT’ වෙත පිවිසිය හැකි වේ. 

එමඟින් වෘත්තීය අධ්‍යාපනයට අදාළ ඕනෑම ගැටලුවකට විසඳුම් ලබාගත හැකිය.
  
නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාවලියත් සමඟ නව පාසල් විෂය ධාරාව යටතේ මූලිකව ඉගෙන ගනු ලබන වෘත්තීය අධ්‍යාපනය ඉදිරියට හැදෑරීම සඳහා නවීන තාක්ෂණය හා ඒකාබද්ධ වීමේ වැදගත්කම, මෙහි දී අගමැති හරිනි අමරසූරිය සභාව අමතමින් පැහැදිලි කළා ය. 

වෙනස් කළ යුතු තැන් නොපැකිලව වෙනස් කරමින් වෘත්තීය අධ්‍යාපන ව්‍යුහය තුළ හෙට දින වැඩලෝකයට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය මානව හා භෞතික සම්පත් ගුණාත්මකව සංවර්ධනය කළ යුතු බවත් ඇය මෙහි දී වැඩිදුරටත් කියා සිටියාය.

මෙම අවස්ථාවට වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ඇතුළු වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.