8වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹෙයි

8වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹෙයි

November 5, 2025   01:58 pm

8වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) සහ Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සංසදය අද (05) චීනයේ ශැංහයි නගරයේදී ආරම්භ කෙරුණි.

එහි සමාරම්භක උත්සවයට එක්වූ චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං සඳහන් කළේ, මේ වසරේ චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට සහභාගී වන ව්‍යවසායන්ගේ සංඛ්‍යාව නව වාර්තාගත ඉහළ මට්ටමකට ළඟාවී ඇති බවත් චීනය සතු සුපිරි විශාල වෙළඳපොළෙහි ශක්තිය ඉන් මනා ලෙස පිළිබිඹු වූ බවත් ය.

ජාත්‍යන්තර ආර්ථික වෙළඳ කටයුතුවලදී දැරිය යුතු චින්තනමය වටිනාකම් පිළිබඳව සඳහන් කිරීමේදී හෙතෙම අදහස් තුනක් ඉදිරිපත් කර තිබුණි.

පළමුවැන්න, සාධාරණ මෙන්ම අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලබාගැනීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් නිත්‍යානුකූල පොදු අවශ්‍යතාවන් හි පදනම තහවුරු කළ යුතුය යන්නය.

දෙවැන්න, සැමවිටම සදාචාරය අනුගමනය කරමින් ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය සැබැවින්ම ආරක්ෂා කළ යුතුය යන්නය. 

තෙවැන්න, පාලන ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ නීති පද්ධතිය සම්පූර්ණ කිරීමය. 

එමෙන්ම ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ ක්ෂේත්‍රයේ අදාළ පාර්ශ්වයන් සමග එක්ව චීනය ගෝලීය පාලන මුලපිරුම සක්‍රිය ලෙස ක්‍රියාත්මක කරමින් ලෝක වෙළඳ සංවිධානය කේන්ද්‍ර කරගත් බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ප්‍රතිසංස්කරණය හා සම්පූර්ණ කිරීමේ කටයුතු කරනු ඇතැයි ද හෙතෙම මෙහිදී පැවසීය. 

ඊට අමතරව, පසුගියදා පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසිවාරයේදී 15වන පස් අවුරුදු සැලැස්ම අනුමත කළ බවත්, එය ඉදිරි කාලය තුළ චීනයේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට වඩාත් වැඩි නිශ්චිතභාවයක් ලබාදෙනු ඇති බවත් චීන අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය. 

නවීකරණය උදෙසා ඉදිරියට ගමන් කරන චීනය, ලෝකයට ද වඩාත් වැඩි නිශ්චිතභාවයක් සහ ධනාත්මක ශක්තියක් ලබාදෙනු ඇතැයිද අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.